Gossips

සිගීරියේ රහසිගත අධ්‍යයනයක්

සීගිරිය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සදහා කේබල් කාර් පද්ධතියක් ස්ථාපිත කිරීමේ සැලසුමක් රහසිගතව ක්‍රියාත්මක කිරීමේ උත්සාහයක් පිළිබදව තොරතුරු වාර්තා වනවා.
චීන සමාගමක් සමග ඉතා රහසිගතව මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මෙම ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණේ.
ඒ අනුව, දින 3 ක් පුරා ඔවුන් සීගිරිය අවට අධ්‍යයන කටයුතුවල නිරත වී තිබෙනවා.
එය ප්‍රදේශයේ හිරු වාර්තාකරු නිරීක්ෂණය කර තිබූ අතර, අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් කළ විමසීමේදී අදාළ බලධාරින් නිසි තොරතුරු හෙළි කර තිබුණේ නැහැ.
සීගිරියේ කේබල් කාර් පද්ධතියක් පිහිටුවීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කෙරෙන සැලසුම් රහසිගතව සිදුකෙරෙන්නේ ඇයිදැයි හිරු දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධනගෙන් පසුව ප්‍රශ්න කළා.
එහිදී ඔහු පැවසුවේ චීන කණ්ඩායමක් පැමිණ මූලික වැඩ කටයුතු අරඹා ඇතැයි තමන් දැනුවත් නොමැති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති අධ්‍යක්ෂ නිශාන් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට අනාවරණ කළේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුදැනුම මත මෙම ව්‍යාපෘතිය සිදුකෙරෙන බවයි.
මේ අතර, උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළේ සීගිරිය ආශ්‍රිතව කේබල් කාර් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.