Gossips

සිංහරාජයේ අලි දෙදෙනා ඉවත් නොකරන්නැයි ජනපතිගෙන් උපදෙස් (ඡායාරූප)

සිංහරාජ රක්ෂිතයේ සිටින දුර්ලභ ගනයේ අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
යම් හෙයකින් මෙම අලි දෙදෙනා වෙනත් වාසස්ථානයක් කරා යොමු කිරීමට සිදුවන්නේ නම් ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිසක් විසින් සිදු කරන ලද පූර්ණ විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව පමණක් ඉදිරි පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා පරිසර අමාත්‍යංශ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට උපදෙස් දී ඇත්තේ.
අද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශ නිලධාරීන් හමුවු අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.
මෙරට අලි සම්පත රැක ගැනීම වෙනුවෙන් එම සතුන් ඔවුන්ට අයත් භූමිය තුළම සංරක්ෂණය කිරීමට පියවර ගන්නා ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ.
ලෝක ප්‍රජාවගේ අවධානයට යොමුව ඇති ඉතා සුවිශේෂී ජෛව වැදගත්කමකින් යුත් සිංහරාජ වනාන්තරයේ වටිනාකම් ආරක්ෂා කර ගැනීමේ වගකීම ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වාදී තිබෙනවා.
සිංහරාජ රක්ෂිතයේ සැරිසරන දුර්ලභ ගනයේ අලි දෙදෙනාගෙන් ප්‍රදේශවාසීන්ට සිදුවන බාධා වළක්වා ගැනීම වෙනුවෙන් ඒ ආශ්‍රිතව අලි වැට ඉදිකිරීමේ කටයුතු කඩිනම් කරන ලෙසට ද ජනධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි සඳහන්.