Gossips

සිංහරාජයෙන් අල්ලාගත් කෘමීන් සමඟ විදේශිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට

මෙරට තෙත් කලාපීය වනාන්තරයකින් අල්ලා ගන්නා ලද විශාලතම කෘමීන් තොගය සමඟ විදේශිකයන් පස්දෙනෙකු කලවාන අඩවි වන නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ස්ලෝවැකියානු ජාතිකයින් වන ඔවුන් සිංහරාජ වනාන්තරයට ආසන්න කලවාන ප්‍රදේශයේ පෞද්ගලික නවාතැන්පලක රැඳී සිටිමින් දින 04 ක කාලයක් තිස්සේ මෙම කෘමි සතුන් අල්ලාගෙන ඇති බවයි අඩවි වන නිලධාරීන් ප්‍රකාශ කළේ.
ඔවුන් විසින් හැකරැල්ලන්, සමනලයින්, කුඩා කෘමි සතුන් සහ පැලෑටි වර්ග කිහිපයක් සිංහරාජ වනාන්තරයේ සිට නීතිවිරෝධීව රැගෙන එමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
කලවාන අඩවි වන නිලධාරී ආර්.එම්.එල්.එම්.රත්නවීර ප්‍රකාශ කළේ කෘමි සතුන් විශාල ප්‍රමාණයක් අල්ලාගත් පළමු අවස්ථාව මෙය වන බවයි.
අත්අඩංගුවට ගත් මෙම ස්ලෝවැකියානු ජාතිකයින් පස්දෙනා ඊයේ දිනයේ රත්නපුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.