Gossips

සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක බව රජය පිළිගනී

වෘත්තිකයන්, දේශපාලනඥයන් ඇතුළු පාර්ශව රැසක් විරෝධය පළ කළ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම දැනටමත් ක්‍රියාත්මක බව අද අනාවරණ වුණා.
කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදී සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශ උපදේශක කේ.ජේ. වීරසිංහ ප්‍රකාශ කළේ මැයි 1 වන දා සිට එය ක්‍රියාත්මක කෙරෙන බවයි.
කෙසේ වෙතත්, අද පැවැති මාධ්‍ය හමුවට එක්වූ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ අමාත්‍යාංශ උපදේශකවරයා ගිවිසුම සම්බන්ධයෙන් පරස්පරව අදහස් දක්වනු දක්නට ලැබුණා.
පසුගියදා වෘත්තිකයන් මෙන්ම විපක්ෂයේ දේශපාලනඥයින් රැසක්ද අදාළ ගිවිසුම රටට අහිතකර බව දිගින් දිගටම පෙන්වා දුන්නා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ කියා සිටියේ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් ඕනෑම අවස්ථාවක වැඩවර්ජනයකට යාම සඳහා සිය සංගමයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාවට බලය පැවරූ බවයි.
එමෙන්ම, කැබිනට් මණ්ඩලයද නොමඟ යවමින් අදාළ ගිවිසුමට අත්සන් තබා ඇති බව ද ජාතික නිදහස් පෙරමුණ ප්‍රකාශ කළා.