Gossips

සිංගප්පූරු ගිවිසුමේ අවශ්‍ය සංශෝධන සිදුකරන බව ජනපති, එරට අගමැතිට කියයි

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තැබූ නිදහස් වෙළඳ ගිවිසුම සකස් කිමේ දී ශ්‍රී ලංකා පාර්ශවයෙන් සිදුව ඇති අඩුපාඩු කිහිපයක් සංශෝදනය කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිංගප්පූරු අගමැති හමුවේ ප්‍රකාශ කළා.
සිංහප්පූරුවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් අතර හමුවක් අද සිදුවුනා.
එහිදීයි ජනාධිපතිවරයා මේබව සඳහන් කර ඇත්තේ.
අදාළ අඩුපාඩු සංශෝදනය කිරීමේදී ඒ පිළිබඳ කටයුතු කිරීමේ වැදගත්කම ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පෙන්වාදී තිබෙනවා.
දෙරට අතර පවතින වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහි දී නායකයන්ගේ විශේෂ සාකච්ඡාවට ලක් වු බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
එමෙන්ම කලාපයට පමණක් නොව ලෝකයටම තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
මත්ද‍්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහය ලබාදෙන බව ද සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සඳ හන් කළා.
ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිංගප්පූරුවේ විවිධ ක්ෂේත්‍රවල රැකියාවල නියුතුව සිටින අතර ඔවුන්ගේ සහ එරට උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් සිංගප්පූරු රජය දක්වන සහය පිළිබඳ ව ද මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කර තිබෙනවා.
මේ අතර ඇස්ටෝනියාවේ පරිසර අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වන සැසිවාරයේ සභාපතිවරයා වන Slim kiisler ද අද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා.
පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහි දී අමාත්‍යවරයාගේ පැසසුමට ලක්වුනා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පරිසර අභියෝග ජය ගැනීම පිළිබඳ ව අද දින පැවති සමුළුවේ දී ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ද අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කර තිබෙනවා.
එම යෝජනා අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත් යෝජනා වනු ඇති බවයි ඔහු කියාසිටියේ.
මේ අතර ලබන මාර්තු මාසයේ දී නයිරෝබිහි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සැසියේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වන ලෙස ද ජනාධිපතිවරයා වෙත ඇරයුම් කර තිබෙනවා.