Gossips

සැප්තැම්බර් 5 විරෝධතාව ගැන ඒකාබද්ධයෙන් මාධ්‍ය හමුවක්

ඉතිහාසයේ විරෝධතාවක් සඳහා එක්රැස්වන විශාලතම ජන ගංඟාව ලබන සැප්තැම්බර් 5 වනදා කොළඹදී දැකගත හැකිවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ජනතාව මත අධික බදු බර පැටවීම, මැතිවරණ කල්දැමීම ඇතුලූ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ජන බලය කොළඹට මැයෙන් ඒකාබද්ධ විපක්ෂය පවත්වන ජන රැළිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද කැඳවා තිබූ මාධ්‍ය හමුවේදී ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් මේ බව කියා සිටියා.
මේ අතර බලයට පත්වී වසර 3 ක් ගතවන වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද රත්ගමදී විරෝධතාවයක් සහ රථ පෙළපාලියක් සංවිධාන කර තිබුණා.
අත්පත්‍රිකා බෙදමින් මහජනතාව දැනුම්වත් කරමින් ඔවුන් විරෝධතාවයේ නිරත වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය රමේෂ් පතිරණ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා සහ ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් මෙන්ම, පාක්ෂිකයින් රැසක් එක්ව සිටියා.