Gossips

සැත්කමක් අතරතුර පහරදුන් බවට හම්බන්තොට වෛද්‍යවරයෙකුට චෝදනාවක්

ඇසකට කාචයක් බද්ධ කර ගැනීමට ගිය තමන්ට, හම්බන්තොට රෝහලේ වෛද්‍යවරයෙකු කිසියම් උපකරණයකින් නළලට කිහිප වරක් පහරදුන් බවට වලස්මුල්ල – දළුවක්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් චෝදනා කරනවා.
91 හැවිරිදි ඇය මේ වනවිට වලස්මුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට ද පැමිණිලි කර ඇති බව සදහන්.
ඇසට කාචය දැමීම සදහා ශල්‍යාගාරයට රැගෙන යන අවස්ථාවේ තමන්ට නිර්වින්දන බෙහෙතක් ලබා නොදුන් බව සදහන් කරන මෙම කාන්තාව ශල්‍යාගාරයේදී තමන්ට වෛද්‍යවරයා මෙලෙස පහරදුන් බවයි ප්‍රකාශ කරන්නේ.
මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බව වලස්මුල්ල රෝහල් පොලීසිය ද තහවුරු කළා.
මේ අතර, හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා ප්‍රකාශ කළේ රෝගියාගෙන් ලැබුණු පැමිණිල්ල මත සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.