Gossips

සැඟවූ රත්රන් සහ ආයුධ සොයා ආරක්ෂක අංශ කිලිනොච්චිය හාරයි (ඡායාරූප)

අවසන් යුධ සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් කිලිනොච්චිය, අරිවියල්නගර් ප්‍රදේශයේ රත්රන් සහ ආයුධ තොගයක් වළ දමා ඇති බවට ලද තොරතුරක් මත ඊයේ (11) පස්වරුවේ ආරක්ෂක අංශ විසින් එම ප්‍රදේශයේ කැනීම් ආරම්භ කරනු ලැබුවා.
පොලිසිය විසින් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගන් නියෝග යටතේ බැකෝ යන්ත්‍ර යොදාගනිමින් අරිවියල් නගර් ප්‍රදේශයේ කැනීම් සිදුකර තිබෙනවා.
පැය තුනක පමණ කාලයක් අදාළ ස්ථානයේ කැනීම් කටයුතු සිදුකරනු ලැබූව ද ආරක්ෂක අංශ වෙත කිසිඳු භාණ්ඩයක් හෝ උපකරණයක් සොයාගැනීමට හැකියාව ලැබී නැහැ.
කැනීම් කටයුතු ඊයේ (11) දිනට නවතා දැමු අතර යළි කැනීම් කටයුතු අද (12) දින සිදුකිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.
මීට පෙරද අවස්ථා කිහිපයකදී මුලතිව් සහ කිලිනොච්චිය ප්‍ර‍දේශයන්හි එල්.ටී.ටී.ඊ. සංවිධානය සැඟවූ රත්රන් පවතින බවට ලද තොරතුරු මත ස්ථාන කිහිපයක කැනීම් කටයුතු සිදුකළ ද කිසිවක් සොයාගැනීමට හැකියාව ලැබුනේ නැහැ.
කැනීම් කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්, කිලිනොච්චිය පොලිස් නිළධාරීන් සහ යුධ හමුදා නිළධාරීන්ද එක්ව සිටියා.

ඡායාරූප – වව්නියාව, මාධව කුලසූරිය / දිනසේන රතුගමගේ