Gossips

සා.පෙළ වැරදිකරුවන්ගේ ප්‍රතිඵල අත්හිටුවනවා – විභාග කොමසාරිස්

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා එල්ල වූ අපේක්ෂකයින්ගේ විභාග ප්‍රතිඵල අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ද ක්‍රියාත්මක බවයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය පළමු වන කොටසේ ප්‍රශ්න පත්‍රය සඳහා අයදුම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි තවත් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, තණමල්විල – බෝදාගම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් සහ කල්මුණේ – සයින්දමරදු ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානකදියි.
මාතර – තිහගොඩ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් ද ගණිත ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස සඳහා අයදුම්කරුවෙකු වෙනුවෙන් විභාගයට පෙනී සිටි තවත් තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම පසුගිය දා බලංගොඩ ප්‍රදේශයෙන් අයදුම්කරුවෙකු සහ ගුරුවරියක් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා අදාළ ගුරුවරියක විසින් ජංගම දුරකථනයකින් පිළිතුරු සැපයීම හේතුවෙන්.
විභාග දෙපාර්තමේන්තුව පවත්වන සෙසු විභාගවලට පෙනී සිටීම ද මෙම අපේක්ෂකයින්ට තහනම් වන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කළා.
මේ අතර, මෙවර සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 23 වන දා ආරම්භ කිරීමට නියමිතයි.
එහි පළමු අදියර ජනවාරි 1 වන දා දක්වා ක්‍රියාත්මක අතර, දෙවන අදියර ජනවාරි 8 වන දා සිට 17 වන දා දක්වා සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
පසුගිය 3 වන දා ආරම්භ වූ මෙවර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය බදාදා අවසන් වුණා.