Gossips

සාවද්‍ය සිද්ධීන් නිර්මාණය කරමින් දුමින්ද වරදකරුවෙකු කරලා – ජනාධිපති නීතිඥවරුන් අදත් අධිකරණයට පෙන්වා දෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බව අද යළිත්වරක් ජනාධිපති නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළා.
ඒ සම්බන්ධයෙන් ගොනුකළ අභියාචනය විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතීඥවරුන් පෙන්වා දුන්නේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා විමර්ශන නිලධාරීන් ව්‍යාජ සිද්ධීන් නිර්මාණය කර ඇති බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කළ අභියාචනය අද (18) විභාගයට ගැනුණේ 6 වැනි දිනටයි.
ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.
එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතීඥ අනුර මැද්දෙගොඩ මහතාද සඳහන් කළේ දුමින්ද සිල්වා මහතා වරදකරුකළ නඩු තීන්දුවේ වලංගුභාවයක් නොමැති බැවින් ඉන් කිසිදු නීතිමය බලපෑමක්ද නොමැති බවයි.
හිස් කඩදාසි කිහිපයකට නඩුවේ තුන්වන සැකකරුගේ අත්සන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බලහත්කාරයෙන් ලබාගෙන ඇති බව මෙහිදී ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේ සැකකරු විත්තිකූඩුවේ සිට කළ විශේෂ ප්‍රකාශයක් උපුටා දක්වමින්.
සැකකරුගේ එම විශේෂ ප්‍රකාශය විශ්වසනීයත්වයෙන් යුත් ප්‍රකාශයක් බව විනිසුරුවරුන් විසින් මහාධිකරණයේදී පිළිගත් බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා.
මෙහිදී ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ අදාළ සැකකරුගෙන් ලබාගත් තොරතුරු අනුව සොයාගත් බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගිනි අවි දෙකක්ද නඩු විභාගයට ඉදිරිපත් කර ඇති බවයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම, ගිනි අවි සොයා ගැනීම ඇතුළු සියලු කාරණා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ව්‍යාජව නිර්මාණය කරන ලද සිද්ධීන් බව ජනාධිපති නීතීඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ එලෙස ව්‍යාජ සිද්ධීන් නිර්මාණය කිරීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුමින්ද සිල්වා මහතාට අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවයි.
කෙසේ වෙතත් මෙම ව්‍යාජ සිද්ධීන් තීන්දුව ලබාදීමේදී නිසි ලෙස විශ්ලේෂණය කිරීමට අපොහොසත් වී ඇති බව ජනාධිපති නිතීඥ අනුර මැද්දෙගොඩ මහතා පෙන්වා දුන්නා.
මීට ඉහත අභියාචනා විභාගයේදී ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතාද සඳහන් කළේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ගෙතූ බොරු සාක්ෂිවල ලුහුඬුතා හා පරස්පරතා මහාධිකරණයේදී පෙන්වා දුන්නත් ඒවා නඩු තීන්දුවේදී නිසි සැළකිල්ලට ගෙන නොමැති බවයි.
චෝදනා පත්‍රයේ නොමැති කරුණු සඳහා දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කර ඇති බවත් එය කිසිසේත්ම නීත්‍යනුකූල නොවන බවත් ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළා.
ජනාධිපති නීතීඥවරයා තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළේ දුමින්ද සිල්වා මහතා වරදට පත්කිරීම සඳහා ඉදිරිපත් කළ සෑම සිද්ධියකම සාක්ෂි පරස්පර බවත් කිසිදු සාක්ෂිකරුවෙකුගේ සාක්ෂි සියයට සීයක් පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම සඳහන් බවයි.
මෙවන් තත්ත්වයක් මත දුමින්ද සිල්වා මහතාට කිසිදු චෝදනාවකට දඬුවම් දීම නීත්‍යනුකූල නොවන බව ජනාධිපති නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සඳහන් කළා.
ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේ සාක්ෂි හෝ කරුණු මත නොව, දුමින්ද සිල්වා මහතා ජනප්‍රිය දේශපාලන චරිතයක්වීම මත පදනම් වෙමින් නඩු තීන්දුව ලබා දී ඇති බව හා නඩු තීන්දුව ලක්ෂ වාරයක් කියවූවද දුමින්ද සිල්වා මහතා වරදකරුවෙකු කළේ මන්දැයි සොයාගත නොහැකි බවත්ය.
එමනිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වරදකරුකළ තීන්දුව සැබවින්ම නියම නඩු තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඔප්පු කළා.
මේ අතර ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාද සඳහන් කළේ කොළඹ මහාධිකරණයෙන් ලබාදුන් තීන්දුවේ අඩුපාඩු රැසක් ඇති බවයි.
ඔහු පැවසුවේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සාධාරණ සැකයකින් තොරව ඔප්පුවන්නේදැයි සොයා බැලීමකින් තොරව රජයේ නීතීඥවරුන්ගේ ප්‍රකාශ මත පමණක් පදනම් වෙමින් විනිසුරුවරිය සිය තීන්දුව ලබාදී ඇති බවයි.
ගිනි අවි භාවිත කළ බවට දුමින්ද සිල්වා මහතාට චෝදනා ගොනු කර තිබූ අතර ඒ සඳහා කිසිදු සාක්ෂියක් නඩු විභාගයේදී ඉදිරිපත් නොවූ බව ජනාධිපති නීතීඥවරයා මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නා.
දුමින්ද සිල්වා මහතාට වෙඩි වැදුණු සිද්ධිය අනෙක් පාර්ශ්වය විසින් ආරම්භ කර තිබුණද තීන්දුව ලබාදීමේදී එය නොසලකා හැර ඇති බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා.
මහාධිකරණ නඩු විභාගයේදී සාක්ෂි ගණනාවකින් දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බව තහවුරු කළද එය අදාළ නොවන බවට තීන්දුවේ ප්‍රකාශ කිරීම ඊට හොඳම උදාහරණයක් බව ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළා.
ඔහු පැවසුවේ දුමින්ද සිල්වා මහතාගේ හිස ඉදිරිපසට වෙඩි වැදුණු බවට අධිකරණ වෛද්‍ය වාර්තා මඟින්ද සනාථ කර ඇති බවයි.
ජනාධිපති නීතීඥවරයා තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ සාවද්‍යව නිර්මාණය කරන ලද සිද්ධි හා සාක්ෂි මත පදනම් වෙමින් දුමින්ද සිල්වා මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු හෙවත් විත්ති වාචික නොසලකා හරිමින් මහාධිකරණයේ නඩු විභාගය සිදුවී ඇති බවයි.
ඔහු පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා ගොනු කළ මෙම නඩුවේදී සිය සේවාදායකයාට සෑම පුරවැසියෙකුටම හිමිවිය යුතු සාධාරණ නඩු විභාගයක් නොලැබුනු බවයි.
එම නිසා නීතියට පටහැනිව දඬුවම් දෙමින් ලබා දුන් නඩු තීන්දුව අහෝසි කර සියලු චෝදනාවලින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.
අභියාචනයේ වැඩිදුර විභාගය එළඹෙන 04 වැනිදා යළි සිදුකිරීමට නියමිතයි.