Gossips

සාලාව අවි ගබඩාව පිපිරීමේ පාඩුව කෝටි 1200 යි

අවිස්සාවේල්ල – කොස්ගම සාලාව යුද හමුදා කදවුරේ සිදුවූ පිපිරීමෙන් රුපියල් කෝටි 1200ක පමණ පාඩුවක් සිදුවූ බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ කමිටුවක් මගින් කරුණු ඉදිරිපත් කර ඇති බව යුද හමුදාව පවසනවා.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු කියා සිටියේ මෙම පිපිරීම සම්බන්ධයෙන් සොයා බැලීම යුද හමුදාව පත් කළ කමිටුව මගින් මීට අදාල වාර්තා 4 ක් ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව, සිද්ධියට වගකිව යුතු හමුදා නිලධාරින් 14 දෙනෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට ද යුද හමුදාව පියවර ගෙන තිබෙනවා.
මීට අමතරව, පිපිරීමෙන් විනාශයට පත්වූ වෙළදසැල් යළි ඉදිකර ගැනීම ඇතුලූ කාර්යන් සදහා යුද හමුදාව සතු අක්කර 5 ක පමණ ඉඩමක් නිදහස් කෙරුණා.
එසේම මීට අදාළව නිකුත් කළ කමිටු වාර්තා අතුරෙන් එක් වාර්තාවක් රස පරීක්ෂකවරයාට යොමුකර ඇති බැවින් පිපිරීමට හේතු වූ ප්‍රධානතම සාධකය කුමක්ද යන්න ප්‍රකාශ කළ නොහැකි බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.
පසුගිය 2016 වර්ෂයේ ජුනි මස 5 වනදින පස්වරුවේ සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් 47 දෙනෙකු තුවාල ලැබුවා.
ඊට අමතරව, ප්‍රදේශයේ නිවාස 300 ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර පසුව යුද හමුදාව විසින් ඒවා යළි ඉදිකරදෙනු ලැබුවා.