Gossips

සාමයේ කුමරා උපන් නත්තල රට පුරා හරසරින් සැමරේ

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිහි කෙරෙන අසිරිමත් නත්තල සියළුම කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් මේ වනවිටත් සමරමින් සිටිනවා. කිතු උපත සිහිකරමින් ශ්‍රී ලංකාවාසීන් මෙන්ම ලෝකවාසීන් ද ඊයේ රාත්‍රියේ දේවස්ථානවලට ගොස් දේව මෙහෙයන් සඳහා එක් වුණා.
ප්‍රධාන නත්තල් දේව මෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රියේදී පයාගල – ශාන්ත ජෝෂෆ් දෙව් මැදුරේදී පැවැත්වුණේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.
එහිදී අගරදගුරු හිමිපාණන් උන්වහන්සේගේ නත්තල් පණිවුඩය ඉදිරිපත් කළා.
මේ අතර මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම ස්වාමීන් වහන්සේ නත්තල වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේ ඕනෑම ආගමක ශාස්තෘවරයන් වහන්සේලාගේ බලාපොරොත්තුව ජනතාවට යහපතක් උදාකරවීම බවයි.
එමෙන්ම දිවයිනේ සෑම ප්‍රදේශයකම කිතුණු බැතිමතුන් මහත් හරසරින් නත්තල සමරමින් සිටින බව අප වාර්තාකරුවන් සඳහන් කළා. හලාවත, පුත්තලම ප්‍රදේශවල මෙන්ම වතුකරයේ ජනතාවද නත්තල සමරනු ලැබුවා.
උතුර පළාතේ ප්‍රධාන දේව මෙහෙය මන්නාරම – මඩු දේවස්ථානයේදී පැවැත්වුණේ මන්නාරම රදගුරු එමානුවෙල් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්. ඊට අමතරව යාපනය රදගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය – ශාන්ත මරියා දේවස්ථානයේදී තවත් දේව මෙහෙයක් පැවැත්වුණා.
මේ අතර, අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නත්තල් ප්‍රධාන දේව මෙහෙය පවත්වනු ලැබුවේ රෝමයේ වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේදීයි. එහිදී මිනිසුන් අතර පවතින දුප්පත්, පොහොසත් භේදය තුරන් කිරීම සඳහා කටයුතු කළ යුතු බව උන්වහන්සේගේ ප්‍රකාශ කළා. එමෙන්ම නත්තලේ සියළු ලෝකවාසීන් සාමයෙන්, සමාදානයෙන් බෙදා හදාගෙන ජීවත් විය යුතු බව අවධාරණය කළ පාප්වහන්සේ සරල දිවියකට හුරුවන ලෙසද ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළා.