Gossips

සාධාරණ මැතිවරණ පැවැත්වීමට පදනම ඇති කළා – ජනපති

19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමේ ශක්තිමත් පදනමක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ සමාරම්භක උළෙල අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සියළු මැතිවරණ නිදහස්, සාධාරණ සහ ස්වාධීන මැතිවරණ ලෙස පැවැත්වීම රජයේ අරමුණ බවයි.
මෙම අවස්ථාවට ආසියානු රටවල මැතිවරණ කොමිසම් සහ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් රැසක් ද එක්ව සිටියා.
මේ අතර, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් පත් කරන ලද රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන විශේෂ ජනාධිපති කොමිසම අද පෙරවරුවේ ප්‍රථම වරට ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
එස්. රනුග්ගේ, සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනවා.
ඒ අනුව දුම්රිය, සෞඛ්‍යය, උසස් අධ්‍යාපන, තැපැල් යන ක්ෂේත්‍රවල වැටුප් තලවල සිදුවිය යුතු සංශෝධන සම්බන්ධයෙන් මෙම කොමිසම අවධානය යොමු කරනු ඇති.
එසේම කොමිසමේ නිර්දේශ ලබන ඔක්තෝම්බර් 30 වන දාට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී කොමිසමේ සාමාජිකයින්ට දැනුම් දී තිබෙනවා.