Gossips

සාක් සංවිධානයේ අනාගතය අනතුරේ

දැනට පවතින වාතාවරණය යටතේ දකුණු ආසියාතික සහයෝගීතා සංවිධානය හෙවත් සාක් සංවිධානය ඉදිරියට පවත්වාගෙන යාම යථාර්ථයක් නොවන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දියාවේ සංචාරයක නිරතවන නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඔලි හමුවේ ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාකිස්ථානය දේශසීමාව හරහා ත්‍රස්තවාදී කටයුතුවලට සහය වන බවට චෝදනා කරමින්.
සාක් සමුළුව පණගැන්වීම සඳහා ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කරන ලෙස පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂහීඞ් ඛකාන් අබ්බාසි, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගෙන්ද ඉල්ලා සිටි බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාකිස්ථාන සංචාරයේදී ඔහු එම ඉල්ලීම සිදුකර ඇත්තේ සමුළුව කඩිනමින් කැඳවීමට පියවර ගත යුතු බව අවධාරණය කරමින්.
පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා නේපාලයේ සංචාරයක නිරතවන විට එරට අග්‍රාමාත්‍යවරයාගෙන්ද ඒ සඳහා ඉල්ලීමක් කර තිබෙනවා.
එම ඉල්ලීම පිළිබඳව නේපාල අග්‍රාමාත්‍ය ඔලි, අග්‍රාමාත්‍ය මෝදි වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ ඊට සුබවාදී ප්‍රතිචාරයක් ලැබී නැහැ.
ඔහු සඳහන් කර ඇත්තේ කලාපීය සම්බන්ධතාවන්ට සහ සහයෝගීතාවට ඉන්දියාව සහය දක්වන නමුදු සාක් සංවිධානය පණ ගැන්වීමට ඇති බාධක සියල්ලන්ට රහසක් නොවන බවයි.