Gossips

ස්වාමීන් වහන්සේ නමකට අසුන පිරිනැමීමට උරණ වූ අයෙක් ප්‍රාදේශීය සභා සභාපතිගේ බලයෙන් බස් රථය පොලිසියට ගෙන යයි

බස් රථයක පූජ්‍ය පක්ෂයට වෙන්කර ඇති අසුන කොන්දොස්තරවරයා මැදිහත් වී ස්වාමීන් වහන්සේ නමකට පිරිනැමීම හේතුවෙන් උරණ වූ පුද්ගලයෙකු බස් රථය පොලිසියට රැගෙන යාමේ සිදුවීමක් මහියංගණය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඊයේ රාත්‍රී කොළඹ සිට බිබිල දක්වා ධාවනය වූ බස් රථයක මෙය සිදුව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ.
වෛද්‍යවරයෙකු බව පැවසෙන මෙම පුද්ගලයා පූජ්‍ය පක්ෂයට වෙන්කර ඇති අසුනේ වාඩිවී ගොස් ඇති අතර වරකාපොළ ප්‍රදේශයෙන් බස් රථයට නැගුනු ස්වාමීන් වහන්සේ නමකට එම අසුන පිරිනැමීමට සිදුවීම පිළිබඳ ඔහු උරණ වී ඇතැයි සඳහන්.
පසුව මහනුවර ප්‍රදේශයෙන් බස් රථයෙන් බැස ඇති වෛද්‍යවරයා සිද්ධිය පිළිබඳ දුරකථනයෙන් සිය සහෝදරයෙකු වන මහියංගණය ප්‍රදේශීය සභාවේ සභාපතිවරයාට දන්වා තිබෙනවා.
ඔහුගේ මැදිහත්වීම මතයි බස් රථය පොලිසිය වෙත ගෙන ගොස් ඇත්තේ.
රියදුරාට සහ කොන්දොස්තරවරයාට මහියංගණයේදී කිසියම් පිරිසක් පහරදීමට සිටින බවට සැලවීමෙන් පසු කොන්දොස්තරවරයා අතරමගදී බස් රථයෙන් බැස ගොස් තිබු බව සඳහන්.
කෙසේවෙතත් මහියංගණය පොලිසිය දෙපාර්ශවයේ කරුණු විමසා සිද්ධිය සමතයකට පත්කර තිබෙනවා.
මෙම සිද්ධිය හේතුවෙන් අදාළ බසයේ සිටි ඇතැම් මගීන් වෙනත් බස් රථවලින් පිටත්ව ගොස් ඇති අතර තවත් මගීන් පිරිසක් ප්‍රමාදය හේතුවෙන් දැඩි අපහසුතාවන්ට පත්ව සිටි බවයි අප වාර්තාකරු කියාසිටියේ.