Gossips

ස්වාධීනවීම ගැන සාකච්ඡාවට ඒකාබද්ධය රැස්වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීම පිළිබඳව අවසන් තීරණය ගැනීම සඳහා වන විශේෂ සාකච්ඡාව මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කොළඹ – විජේරාම මාවතේ නිල නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන විවිධ පක්ෂවල නායකයින් මෙන්ම මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටින බවයි වාර්තාවන්නේ.
මේ අතර කථානායක කරූ ජයසූරිය විසින් විපක්ෂ නායක ධුරය පිළිබඳව සිය තීන්දුව ලබාදුන්නේ ඉතා පුළුල් සහ දීර්ඝ අධ්‍යයනයකින් පසුව බව කථානායක කාර්යාලය ප්‍රකාශ කළා.
එහිදී දේශීය විදේශීය විශාරදයින්ගේ අදහස්, සෙසු ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවතින සම්ප්‍රදායන් සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රමිතීන්ද විමසා බැලූ බව ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන්.
මෙම පත්වීමේ පසුබිම වෙනස් බව අවබෝධ කර නොගෙන විපක්ෂ මන්ත්‍රීවරුන් ඊට අදාළව කථානායකවරයාට එරෙහිව අසත්‍ය චෝදනා ඉදිරිපත් කිරීම අසාධාරණ බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කිරීමට තීරණය කළහොත් ඔවුන්ගේ මන්ත්‍රී ධුර පිළිබඳ අවදානමක් මතුවිය හැකි බවයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති අධිනීතීඥ ලාල් විජේනායක කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ.