Gossips

ස්ථාවර නියෝග සංශෝධනය සහ මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය සම්මතයි

වසර 24 කට පසුව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර ධර්ම පද්ධතිය අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
ඊට අමතරව අද දිනයේදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පතද අද විවාදයට ගැනුණා.
එය විවාද කිරීමට පවතින කාලසීමාවේ සහ එහි ඇති ඇතැම් වගන්ති සම්බන්ධයෙන් පවතින ගැටලූ හේතුවෙන් එය අද දිනයේදී විවාදයට නොගන්නා ලෙසයි ඒකාබද්ධ විපක්ෂය ඉල්ලා සිටියේ.
ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, අමාත්‍ය තිලක් මාරපන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශද මැදිහත් වූ අතර, පසුව ඊට අදාළ විවාදය පැවැත්වුණා.
ඉන් අනතුරුව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පැවති අතර, එහිදී බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත සංශෝධන රහිතව වැඩි ඡන්දයෙන් සම්මත වුණා.
ඊට පක්ෂව ඡන්ද 53 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 16 ක් පමණයි.