Gossips

සහල් මිල 10 කින් අඩුවේ

දේශීය පාරිභෝගිකයාට සහන සැළසීමක් ලෙස සහල් කිලෝවක මිල රුපියල් 10 කින් අඩු කිරීමට සහල් නිෂ්පාදකයින් එකඟත්වය පළ කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
අමාත්‍යවරයා සහ සහල් මෝල් හිමියන් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී මෙම එකඟත්වයකට පැමිණි බවයි ඔහු කියා සිටියේ.
ඒ අනුව සහල් නිෂ්පාදකයින් විසින් සකස් කෙරෙන සහල් කිලෝ එකක මිල රුපියල් 10 කින් අඩු කිරීමටත්, එම මිල අඩුකිරීම සහල් ඇසුරුම්වල සඳහන් කිරීමටත් පියවර ගැනීමට එකඟත්වය පළවූ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
කෙසේ වෙතත් අප කළ විමසීමකදී සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ජාතික සංවිධායක නිශාන්ත ඞී. අත්තනායක කියා සිටියේ එවැනි එකඟතාවක් අමාත්‍යවරයා සමඟ ඇතිකර නොගත් බවයි.
මේ සම්බන්ධයෙන් එම සාකච්ඡාවට එක්වූ මරදගහමුල සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත්ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ද ඔහු කියා සිටියේ එවැනි එකඟත්වයක් ඇති නොවූ බවයි. සහල් සඳහා පාලන මිලක් නියම කළ යුතු බවට ඔවුන් එහිදී යෝජනා කළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.