Politics Sri Lanka

සහතික මිලක් නැහැ එළවළු ගොවියා අසීරුවට පත්වෙයි

සහතික මිලක් නැහැ එළවළු ගොවියා අසීරුවට පත්වෙයි

දේශීය ගොවියා පිළිබඳ රට උණුසුම්ව පවතින මොහොතක ගොවියාගේ නිෂ්පාදනවලට සහතික මිලක් නොමැති වීම නිසා ගොවීහු දැඩි අසීරුතාවයකට පත්ව තිබේ.

විශේෂයෙන් පහතරට එළවළු ගොවීන් මෙන්ම යාපනය අර්ධද්වීපයේ ගොවීන්ද, මෙම තත්ත්වයට මුහුණ දී ඇත.

මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයේ එළවලු අති විශාල වශයෙන් ලැබෙමින් පවති අතර පහතරට එළවළු ගොවීන් තම නිෂ්පාදන වැඩි වශයෙන් ගෙනෙන බව ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමය පවසයි.

පහතරට කලාපයේ ඇතැම් එළවළු අස්වනු නෙලීම අතහැර දමා තිබෙන නිසා විනාශ වෙමින් පවතින බවද ගොවීහු පෙන්වා දෙති.

යාපනය අර්ධද්විපයෙන් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වැඩි වශයෙන් අර්තාපල්, රතුළුණු, මාළුමිරිස්, බිට්, වම්බටු, මෑකරල් ආදී එළවළු වර්ග රැසක් ලැබී තිබේ.

මේ අතර යාපනයේ දඹුල්ලට අර්තාපල් අල අලෙවි කිරීම සඳහා අරගෙන එන ගොවීන් කියා සිටින්නේ තම නිෂ්පාදන වලට කිලෝ එකක් සඳහා රුපියල් 50ක් 55ක් අතර මිලක් ලැබෙන බවය එහෙත් අර්තාපල් අල එම මිල ගණන් යටතේ අලෙවි කිරීම අසීරුතාවයක් බවත් තමන්ට විශාල පාඩුවක් සිදුවන බව ඔවුහු පෙන්වා දෙති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් කියා සිටියේ රජය පහුගිය දිනවල විදේශීය රටවලින් ගෙන්වන අර්තාපල් අල සඳහා රුපියල් 29ක බදු මුදලක් පනවන විටත් විශාල අර්තාපල් මහා ව්‍යාපාරිකයන් විසින් රැස්කොට අවසන් බවත් තව මාස තුනකට පමණ මෙරට ගබඩාවල පවතින බවද ගොවියෝ පෙන්වා දෙති.

ඒ නිසා යාපනය අර්ධද්වීපයේ අර්තාපල් ගොවීන්ට සාධාරණ මිලක් නොලැබෙන බවත් එම අය වැලිමඩ අල ලෙස අලෙවි කරමින් තිබෙන බවත් ඔවූහු කියා සිටිති.

එමෙන්ම යාපනයෙන් මෙන්ම පහතරට ප්‍රදේශවලින් ලැබෙන අනෙකුත් එළවළු වර්ග සඳහා කිලෝවක මිල පවතින්නේ රුපියල් විස්සේ සිට රුපියල් 50ක් වූ උපරිම මිලක් බව ගොවීහු පවසති.

මේ හේතුව නිසා එළවළු නිෂ්පාදන වියදම් අවම කරගැනීමට නොහැකි බව ගොවීහු වැඩිදුරටත් සඳහන් කරති.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොල් ගෙඩියක තොග මිල රුපියල් 80ක් වීමද විශේෂත්වයකි.

පොල් අලෙවි කරන්නන් කියා සිටින්නේ රජය පැනවූ රුපියල් 75ක පාලන මිලට පොල් ලබාදීමට නොහැකි බවත් රජයෙන් අඩු මුදලට පොල් ලබා දෙන්නේ නම් පාලන මිලට ලබා දිය හැකි බවය.

දිවයිනේ එළවළු අවශ්‍යතාවයෙන් 70%ක් පමණ සපුරන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මේ දිනවල එළවළුවලින් පිරී ඉතිරී යන ආකාරය දැක ගත හැකිය.

බොහෝ එළවළු වර්ග අලෙවි නොවීම නිසා ඇතැම් අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බවද ගොවීහු පෙන්වා දෙහි.