Gossips

සල්මන් ඛාන්ට ඇප (ඡායාරූප)

දුර්ලබ කලු මුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ චෝදනාවට වසර 5 ක සිර දඩුවම් නියමවු බොලිවුඩ් සුපිරි නලු සල්මන් ඛාන්ට ඇප හිමිවී තිබෙනවා.
ජෝද්පූර් දිස්ත්‍රික් අධිකරණයක් විසිනුයි බොලිවුඩ් නලුවාට ඇප ලබාදී ඇත්තේ.
ඒ අනුව ඉන්දීය රුපියල් 250000 ක ඇපයක් මත ඔහු නිදහස් කිරීමටයි අධිකරණය නියෝග කර තිබෙනවා.
ඊට අමතරව අධිකරණයේ අවසරයකින් තොරව සල්මන් ඛාන්ට විදේශගත වීම ද තහනම් කර ඇතැයි සඳහන්. .
මෙම සිද්ධියට අදාළව යළිත් ලබන මැයි මස 7 වනදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවටයි වැඩිදුරටත් අධිකරණය නියෝග කර ඇත්තේ.
සිර දඩුවම් නියමවීමෙන් පසු ඔහු දින දෙකක් බන්ධනාගාරයේ ගත කළා.
අදාළ ඇප මුදල් අධිකරණය වෙත ලැබුනු වහාම ඔහුට බන්ධනාගාරයෙන් පිටව යාමට හැකියාව පවතිනවා.
සල්මන් ඛාන්ගේ නීතිඥවරුන් ප්‍රකාශකර ඇත්තේ අදාළ ලිපි ලේඛණ සම්බන්ධ කටයුතු අවසන් කිරීමෙන් පසු රාත්‍රී 7.30 පමණ වන විට සුපිරි බොලිවුඩ් නලුවාට බන්ධනාගාරයෙන් පිටතට පැමිණිමට හැකියාව ලැබෙනු ඇති බවයි.
අද (07) දිනයේ නඩු විභාගයට සල්මන් ඛාන්ගේ සොයුරිය ද පැමිණ සිටි බව සඳහන්.
මේ අතර ඇප ලැබීමත් සමග සල්මන් ඛාන්ගේ රසිකයන් ඔහුගේ නිවස ඉදිරිපිට ප්‍රීති ඝෝෂා පවත්වමින් සිටින බවයි ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙනවා.
මේ අතර බොලිවුඩ් සිනමා නළු සල්මාන් ඛාන්ට වසර 5ක සිර දඩුවමක් නියම කළ විනිසුරුවරයාට මාරුවක් ලබාදී තිබෙනවා.
එමෙන්ම ඔහුගේ දඬුවමේ කාලසීමාව සම්බන්ධයෙන් අද (07) විනිශ්චයකට එළඹීමට සිටි විනිසුරුවරයාට ද එලෙස මාරුවක් ලබාදී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.
රාජස්ථාන් මහාධිකරණය මගින් ඔවුන් මෙලෙස මාරු කර ඇත්තේ වාර්ෂික සාමාන්‍ය මාරුකිරීම් යටතේ බව අධිකරණ බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
දුර්ලභ ගණයේ කළු ඇන්ටිලෝප් සත්ත්වයන් දෙදෙනෙකු 1998 වසරේදී සල්මන් ඛාන් දඩයම් කර ඇත්තේ හුම් – සාත් – හයින් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරයි.
එම දඩයම් චාරිකාවට සහභාගි වූ සයිෆ් අලි ඛාන්, සොනාලි බ්‍රෙන්ද්‍රේ, තාබු සහ නීලම් කොතාරි නිදහස් කිරීමටයි අධිකරණය තීන්දු කළේ.
සල්මන් ඛාන්ට පස් වසරක සිර දඬුවමක් නියම කරමින් විනිසුරු දේව් කුමාර් කත්රි කියා සිටියේ සිනමා තාරකාවක් බැවින් සල්මන් ඛාන් සිදුකළ දඩයමෙන් පසු ඉන්දියාවේ වන සත්ත්ව ඝාතනය ඉහළ ගොස් ඇති බවයි.
ජෝද්පූර් මධ්‍යම බන්ධනාගාරයේ අංක 106 දරණ සිරකරු ලෙස ඊයේ (06) පළමු දඬුවම් රැය ගත කළ සල්මන් ඛාන් රාත්‍රී ආහාරය ලෙස ලබාදුන් පරිප්පු රොටී ප්‍රතික්ෂේප කළ බව සඳහන්.