සමෘද්ධි බැංකුව, මහ බැංකුවේ පාලනය යටතට පත් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (06) එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළියට එක්වෙමින් ප්‍රකාශ කළා.
'පරිණත නායකත්වයට නව ජවයක්' මැයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද උදෑසන 10ට පමණ ආරම්භ වුණා.
ඒ, පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.
ඊට අමතරව පක්ෂ මහලේකම්, ජාතික සංවිධායක, නියෝජ්‍ය නායක ඇතුළු ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ද එක්ව සිටියා.
කෙසේ වෙතත්, අද පැවති මැයි දින සැමරුම සඳහා පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ තවත් ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු පැමිණ නොසිටි බවටයි වාර්තා වන්නේ.
පක්ෂයේ සභාපති, අමාත්‍ය කබීර් හෂීම්, දිලීප් වෙදආරච්චි, පාලිත රංගේබණ්ඩාර, චමින්ද විජේසිරි අසනීප තත්ත්වයන් පිළිබදව දැනුම් දී ඇති බැවින් අද පැවති මැයි දින රැළියට සහභාගි වී සිටියේ නැහැ.
කෙසේ වෙතත්, උපනායක රවී කරුණානායක සහ පක්ෂයේ හිටපු සභාපති මලික් සමරවික්‍රම මෙම අවස්ථාවට එක්වී නොසිටි බවටයි වාර්තා වන්නේ.
එමෙන්ම පක්ෂයේ අර්බුද හේතුවෙන් අද මැයිදින සැමරුමට සහභාගි නොවන බව රංජිත් අළුවිහාරේ මන්ත්‍රීවරයා ඊයේ (05) සඳහන් කර සිටියා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ මැයි දින සමුළුව පැවති සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය අසළට පැමිණ සමුළුවට සහභාගිවීමට අවස්ථාව නොලැබුණු විශාල පිරිසක් අපහසුතාවයට පත්වී ක්‍රීඩාංගණයෙන් පිටත රැදී සිටීමට සිදුවුණා.
එහිදී ඔවුන් ආරක්ෂක අංශ සමඟ ඇතැම් අවස්ථාවලදී ගැටුම් ඇති කර ගැනීමට ද උත්සාහ කළ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.