Gossips

සමෘද්ධි බැංකුව ගැන හැරිසන්ගෙන් වෙනස් මතයක්

සමෘද්ධි සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කරන්නේ එය අධීක්ෂණයට ලක් කිරීමේ අරමුණින් බව රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේ නව නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්. හාරිස් වැඩභාරගැනීමේ අවස්ථාවට අද එක්වෙමින්.
සමෘද්ධි සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පවරා ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ පසුගියදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ මැයිදින රැළියට එක්වෙමින්.
එම ප්‍රකාශය සම්බන්ධයෙන් මීට පෙර සමෘද්ධි විෂය භාරව සිටි සමාජ සවිබල ගැන්වීමේ හා සුබ සාධන අමාත්‍ය එස්.බී. දිසානායක කියා සිටියේ සමෘද්ධි බැංකුව ස්ථාපිත කර ඇති නීතිමය පසුබිම හේතුවෙන් එවැන්නක් සිදුකළ නොහැකි බවයි.
මේ අතර සමෘද්ධි සංවර්ධන බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කිරීමේ අවශ්‍යතාවක් දැනට මතුවී නොමැති බව සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පී. හැරිසන් අද කියා සිටියා.
කෙසේ වෙතත් සමෘද්ධි බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කිරීමේ සූදානමත් සමඟ එහි ගිණුම් වල පවතින රුපියල් බිලියන 200 ක මුදලක් අනතුරට ලක්වීමේ අවදානමක් මතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.