Gossips

සමූහ මිනීවලකින් සිරරු 44 ක අස්ථි කොටස්

මන්නාරම – පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලෙන් මිනිස් සිරුරු 44 කට අදාළ අස්ථි කොටස් මේ වනවිට සොයාගෙන තිබෙනවා.
එම ස්ථානයේ පැවති පැරණි ගොඩනැගිල්ල කඩා දැමීමෙන් අනතුරුව එහි පස් රැගෙන ගිය මන්නාරම – එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී පසුගිය මාර්තු 26 වැනිදා පළමු වරට අස්ථි කොටස් තොගයක් හමුවුණා.
ඉන් අනතුරුව ඒ පිළිබදව මන්නාරම පොලීසිය, මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුවයි මෙම පරීක්ෂණ ආරම්භ කෙරුණේ.
එම ස්ථානයේ දින 37 ක කාලයක් එහි පරීක්ෂණ මෙහෙය වන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂගේ මෙහෙයවීම යටතේ පරීක්ෂණ පවත්වා ඇති අතර, එහිදීයි මෙලෙස මිනිස් සිරුරු 44 කට අදාළ සම්පූර්ණ අස්ථි කොටස් සොයාගෙන ඇත්තේ.
එම පරීක්ෂණ සදහා එක්ව සිටින කැළණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව කියා සිටියේ එම ස්ථානයේ සියයට 45 ක් පමණ භූමියක මේ වනවිට කැණීම් සිදුකර ඇති බවයි.
එහි ඉතිරි කොටස්වල ද ඉදිරියේදී කැණීම් සිදුකරන බවයි ඔහු සදහන් කළේ.
සොයා ගත් මිනිස් සිරුරු 44 කට අදාළ සම්පූර්ණ අස්ථි කොටස් අතර කුඩා ළමයින්ගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් ද වන බව ඔහු කියා සිටියා.
මේ අතර, යාපනය – කල්වියන්කාඩු ප්‍රදේශයේ භූ ගත ජල නල පද්ධතියක් සකස් කිරීමේ ව්‍යාපෘතියක් සිදුකරමින් සිටින අතරතුර මිනිස් අස්ථි කොටස් කිහිපයක්් හමුවී තිබෙනවා. යාපනය පොලීසිය සදහන් කළේ පොළොව මතුපිට සිට අඩි 3 ක පමණ ගැඹුරින් අදාළ අස්ථි කොටස් හමුවී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.