Gossips

සමුගැනීමට සිටින කුක් ගෙන් විශිෂ්ඨ කණ්ඩායමක්

එංගලන්තයෙන් බිහිවූ විශ්ෂ්ඨ පිත්කරුවෙක් සහ නායකයෙක් වන ඇලෙස්ටයාර් කුක් සිය ක්‍රිකට් දිවියෙන් සමුගැනීම පසුගියදා ප්‍රකාශ කළා.
ඒ අනුව ඉන්දියාව සමඟ ලබන 07 වනදා ආරම්භ වන 05 වන සහ අවසන් ටෙස්ට් තරඟයෙන් පසු කුක් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
එංගලන්තය වෙනුවෙන් ඔහු ජාත්‍යන්තර ටෙස්ට් තරඟ 160ක්, එක්දින තරඟ 92ක් සහ පන්දුවාර 20 තරඟ 02ක් ක්‍රීඩා කර ඇති අතර කුක් ජාත්‍යන්තර ටෙස්ට් ටෙස්ට් පිටියේ ලකුණු 12000 සීමාව පසුකළ 06 වන ක්‍රීඩකයා ද වනවා.
ඇලෙස්ටයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඔහු විසින් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර ඇති බව එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රීඩා සමාජය සදහන් කරනවා.
එම කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය ලෙස එංගලන්තයේ හිටපු ක්‍රීඩක ග්‍රැහැම් ගුච් (නායක) සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරු මැතිව් හේඩ්න් නම්කර තිබෙනවා.
එම කණ්ඩායමේ අංක 03 සහ 04 වන ස්ථානයන් සඳහා ඕස්ට්‍රේලියාවේ හිටපු නායකයෙක් වන රිකි පොන්ටින් සහ බටහිර කොදෙව් කණ්ඩායමේ හිටපු විශ්ෂ්ඨ පිතිකරුවෙකු වන බ්‍රයන් ලාරා නම් කර ඇති බව සඳහන්.
එම කණ්ඩායමේ 05 වන ස්ථානය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඒ.බි. ඩිවිලියස් නම් කර ඇති අතර අංක 06 පිතිකරුගේ ස්ථානයට සහ කඩුලු රකින්නා වශයෙන් නම් කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකය කුමාර් සංගක්කාරයි.
දකුණු අප්‍රිකානු තුන්'ඉරියව් ක්‍රීඩක ජැක් කලිස් අංක 07 ස්ථානයට ඇලෙස්ටයාර් කුක් විසින් නම් කර ඇති අතර කණ්ඩායමේ දඟ පන්දු යවන්නන් ලෙස ලොව අංක එකේ දඟ පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් සහ ඕස්ට්‍රේලියාවේ ෂේන් වොන් එක්කර තිබෙනවා.
මීට අමතරව ඕස්ට්‍රේලියානු හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් සහ වර්තමාන එංගලන්ත කණ්ඩායමේ සිටින ප්‍රබලතම වේග පන්දු යවන්නා වන
ජේම්ස් ඇන්ඩර්සන් මෙම කණ්ඩායමට ඇතුළත්.
මේ අතර ඇලෙස්ටයාර් කුක් විසින් නම් කළ මෙම කණ්ඩායමට කිසිඳු ඉන්දීය ක්‍රීඩකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් සහ මේ වන විට ලොව අංක එකේ පිතිකරුවෙක් බවට පත්ව සිටින විරාත් කෝලිට එහි ස්ථානයක් හිමි නොවීමද කා අතරත් කතාබහට ලක්ව තිබෙනවා.