Gossips

සමාජ මාධ්‍යයට ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍යවලින් අන්තවාදය දිරිගන්වන ප්‍රකාශ සහ පළ කිරීම් කඩිනමින් ඉවත් කිරීමට පියවර නොගතහොත් සමාජ මාධ්‍යජාල හිමිකරුවන්ට සහ නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඕස්ට්‍රේලියානු රජය අනතුරු අඟවා තිබෙනවා.
ඒ, අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ෆේස්බුක්, ට්වීටර් සහ ගූගල් හි නියෝජිතයන් සමඟ අද පැවැත් වූ සාකච්ඡාවකදීයි.
සමාජ මාධ්‍ය හරහා තත්පරයකට අඩු කාලයකදී පණිවුඩයක් ප්‍රචාරණය කළ හැකි වුවත් එම ජාල ත්‍රස්තවාදීන්ගේ ආයුධ බවට පත්වීමට ඉඩ නොදිය යුතු බවයි ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ.
නවසීලන්ත ත්‍රස්ත ප්‍රහාරයේදී සිය ප්‍රහාරය සජීවි ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට ප්‍රහාරකයා කටයුතු කිරීමේ සිද්ධිය ඔහු ඊට උදාහරණ ලෙස දක්වා තිබෙනවා.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා කළ අනතුරු ඇඟවීමට සමාජ මාධ්‍ය නියෝජිතයන්ගෙන් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් පළ වී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.