Gossips

සම්මුදු තෙමඟුල සමරන වෙසක් පුන් පොහෝ දිනය අදයි

බුදු රජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණ සමුදාය මෙනෙහි කරන පින්බර වෙසක් සමයේ සකල ලෝවැසි බෞද්ධයන්ට උතුම් වෙසක් මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
සිය වෙසක් දින පණිවුඩයෙන් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ බුදු රජාණන් වහන්සේ අනුදැන වදාල දහමේ පොදු ආඛ්‍යානය වූයේ මිනිසෙකු වසලයෙකු හෝ ශ්‍රේෂ්ඨයෙකු වන්නේ උපත අනුව නොව ඔහුගේ ක්‍රියාවන් මත බවයි.
ඒ ඔස්සේ සියලූ මිනිස් වර්ගයා එක රැහැනකින් යා කෙරෙන සහජීවනය අනුප්‍රාණය ලද බවයි එමගින් තවදුරටත් ජනාධිපතිවරයා සදහන් කළේ.
වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සදහන් කරන්නේ බුදුන් වහන්සේ පෙන්වා වදාල ධර්ම මාර්ගය තුළ අප කොතෙකුත් දුරට ගමන් කරමින් සිටින්නේ ද යන්න සිතා බැලීමට අද දිනය කදිම අවස්ථාවක් බවයි.
යහපත් සමාජයක් ගොඩනැංවීම සදහා දැඩි දුෂ්කරතා මධ්‍යයේ රජයක් ලෙස කටයුතු කරමින් සිටින බව එමගින් සදහන් කරන අග්‍රාමාත්‍යවරයා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සුරකින සදාචාර සම්පන්න සමාජයක් යථාර්ථයක් බවට පත් කිරීම සෑම පුරවැසියෙකුගේ අපේක්ෂාව බව පෙන්වා දෙනවා.
අතීතයේ සිටම රටත්, ජනතාවත් අභියෝගයන්ට මුහුණ දුන් අවස්ථාවන්වලදී ඒවා හමුවේ නොසැලී සිටීමට හා ජයග්‍රහණය ලැබීමට බුදු දහමෙන් අප ලත් ශක්තිය හේතු වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය වෙසක් දින පණිවුඩයෙන් ප්‍රකාශ කළා.
වර්තමානයේ පෙර නොවූ විරූ අන්දමින් මෙරට බුදු දහම රැකගෙන පැමිණි සංඝරත්නය පීඩනයට ලක්වෙමින් සිටින බවක් පෙනෙන්නට තිබීම පිළිබදව තමන් කණගාටු වන බව ද එහි සදහන්.
රටක ආධ්‍යාත්මික හා සදාචාර බිද වැටීම් හට ගන්නේ රට සහ ජනයා ආර්ථික වශයෙන් දිළිදු වීම හේතුවෙන් බව බුද්ධ දේශනාවේ දැක්වෙන බවයි වෙසක් දින පණිවුඩයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ.
බුද්ධ ධර්මය ආරක්ෂා කරන බවත්, භික්ෂුන් වහන්සේගේ අනුශාසනා පිළිගන්නා බවක් ව්‍යාජ ලෙස පෙන්වන පාලකයින් ජනතාව රවටමින් සිටින බව එම පක්ෂයේ වෙසක් දින පණිවුඩයෙන් ප්‍රකාශ කරනවා.
මේ අතර සැමට ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය හිමිවන ශ්‍රී සුබ වෙසක් මංගල්‍යයක් වේවායි ආශිර්වාද කරන බව මල්වතු මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානාහිමියන් පවසනවා.
ඒ වෙසක් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුභාශිංෂන පණිවුඩයක් නිකුත් කරමින්.
ශ්‍රී ලංකාව වෙසක් පුනේ‍යා්ත්සවය පෙර රජ දවස පටන් මහත් උත්සවශ්‍රියෙන් සැමරූ බව සිහිපත් කරන උන්වහන්සේ වර්තමානයේ ද එය එලෙසින්ම ක්‍රියාත්මක කිරීම අගය කළ යුතු බව ප්‍රකාශ කරනවා.
වෙසක් දිනයේ බුදු කරුණා ගුණ සිසිලෙන් සියලූ සිත් සතන් නැහැවී යන බව ද මල්වතු මහානාහිමියන් නිකුත් කළ පණිවුඩයේ සදහන්.