Politics Sri Lanka

සමන්තගේ යෝජනාවට මාස 06යි – මිනිස් ජීවිත ගණනාවක් බිලිගත්තද බලධාරීන් තවමත් මර නින්දේ

සමන්තගේ යෝජනාවට මාස 06යි – මිනිස් ජීවිත ගණනාවක් බිලිගත්තද බලධාරීන් තවමත් මර නින්දේ

පාසල් ගුරුවරු පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී බදුල්ල මහියංගනය මාර්ගයේ 17 කණුව ප්‍රදේශයේදී වියානා ඇලට වැටීමෙන් ඊයේ (26) සිදු වූ අනතුරෙන් 29 හැවිරිදි ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම අනතුරුට මුහුණදුන් තවත් තිදෙනෙකු සිය ජීවිත බේරාගැනීමට සමත්ව තිබේ.

එකම පවුලේ පිරිසක් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පසුගය 23 වනදා සිදු වූ අනතුරෙන් එකම පවුලේ මව, පියා හා 17 හැවිරිදි නිවුන් දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත් විය.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙරද ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි එකම පවුලේ පිරිසක් මෙම ස්ථානයේදීම අනතුරට පත් වූ අතර එහිදීද මව, දරුවා සහ මවගේ සහෝදරයා යන තිදෙනා ජීවිතක්ෂයට පත් විය.

මෙම ස්ථානයේදී ඇති අනතුරුදායක පරිසරය සම්බන්ධයෙන් අධ්‍යනයක නිරතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා, උක්ත ත්‍රීරෝද රථ අනතුරෙන් පසු 2017 අගෝස්තු 16වනදා පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් අදාළ ස්ථානයේ ආරක්ෂිත වැටක් ඉදිකරණ ලෙස ඉල්ලා ඇත.

මෙම යෝජනාවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියළු දෙනාමා එකඟතාවය පල කර ඇති අතර එය ඒකමතිකව සම්මත වී තිබේ. ඒ අනුව 17 මංසන්දිය දක්වා ආරක්ෂිත වැටක් ඉදිකිරීම සුදුසු බව දන්වා ඌව පළාත් සභාවේ සභාපතිවරයා මෙම සම්මත යෝජනාව සම්බන්ධයෙන් දැනුම් දෙමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍ය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට, වාරිමාර්ග හා ජල සම්පත් කළමණාකරණ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතාට, පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයාට ලිපි යොම්කර ඇත. එම යෝජනාව සම්මත වී මේ වනවිට මාස තුනකට වැඩි කාලයක් ගතව ඇතත් මේ දක්වා එහි ආරක්ෂක වැට ඉදිකිරීමට කටයුතු කර නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමන්ත විද්‍යරත්න මහතා අවධාරණය කරන්නේ තමන් විසින් ගෙනෙන ලද යෝජනාව ප්‍රකාරව කඩිනමින් කටයුතු සිදු කළේ නම් මෙම තරුණ ගුරුවරයාගේ ජීවිතය මෙන්ම මීට පෙර සිදු වූ ජීවිතද බේරාගැනීමට හැකියාව තිබූ බවයි.

ජනාධිපතිවරයාට, අගමැතිවරයාට, මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වීම සඳහා, නිල නිවාස අලුත් වැඩියා කිරීම සඳහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වෙන් කරගනිමින් තිබියදී ලක්ෂ ගණනක මුදලකින් ඉදි කළ හැකි මිනිස් ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් ඉල්ලා සිටින ආරක්ෂිත වැට ලබාදීමට නොහැකි වීම කනගාටුවට කරුණක් බවද සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

මෙම ස්ථානයේ පවතින අනාරක්ෂිත තත්වය නිසාම පසුගිය කාලයේ මිනිස් ජීවිත රැසක් අහිමි වූ බව පෙන්වා දෙන සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ඉතා ඉක්මනින් මෙම ස්ථානයට ආරක්ෂිත වැටක් ලබා දෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.