Gossips

සමගියට බාධා කරන සැමට හමුදා කදවුරු වැසේ

සංහිදියා ක්‍රියාදාමයට බාධා වන අයුරින් කටයුතු කරන පුද්ගලයන්ට කදවුරු තුළට ඇතුළුවීම සදහා අවසර ලබානොදීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා.
එසේම, ඔවුන් සහභාගි වන කිසිදු උත්සවයකට සහභාගි වීමට හෝ අනුබල සහ අනුග්‍රහය නොදැක්වීමට ද තීරණය කර ඇති බවයි යුද හමුදාව සදහන් කළේ.
ඇතැම් අවස්ථාවාදී දේශපාලනඥයින්, විශ්‍රාමික යුද හමුදා නිලධාරින් මෙන්ම ඇතැම් සිවිල් ක්‍රියාකාරින් රජය සහ යුද හමුදාව ගෙන යන සංහිදියා වැඩපිළිවෙල විවේචනය කරමින් කටයුතු කරන අවස්ථා දක්නට ලැබීම ඊට හේතුවයි.
ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාදාමයන් අගය කරමින් සාමයට ලැදි උතුරු නැගෙනහිර ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වන අයුරින් ඇතමුන් දේශන පවත්වන බව ද පෙන්වා දෙන යුද හමුදාව පවසන්නේ එමගින් ඔවුන්ගේ සිත් තුළ යළිත් යුද්ධයේ විෂබීජ වපුරමින් කටයුතු කරන ආකාරය නිරීක්ෂණය වී ඇති බවයි.
සංහිදියා යාන්ත්‍රණය පණ ගැන්වීම සදහා යුද හමුදාව විශාල දායකත්වයක් ලබාදෙමින් සිටින අතර උතුරේ සහ නැගෙනහිර ජනතාවගේ හොද හිත දිනා ගනිමින් ඔවුන්ගේ දැවෙන ප්‍රශ්න රැසකට විසදුම් ලබාදීමට හැකිවී ඇති බව ද යුද හමුදාව සදහන් කරනවා.