Gossips

සබරගමුවේ සන්ධාන හිටපු සභානායක ගිනි අවි සමග අත්අඩංගුවට

විශේෂ මෙහෙයුම් සදහා යොදා ගන්නා ගිනි අවියක්, තවත් ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාවනැල්ල සම සංවිධායක ඉමිතියාස් කාදර් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ මෙහෙයුමකදීයි.
ඉමිතියාස් කාදර්ගේ නිවසේ තිබියදී අද අලූයම මෙම ගිනි අවි සහ උණ්ඩ සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් ඉමිතියාස් කාදර් සබරගමුව පළාත් සභාවේ හිටපු සභානායකවරයෙකු වන අතර මේ වනවිට කෑගල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කරනු ලබනවා.
ඔහු වැඩිදුර පරීක්ෂණ සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පොලිස් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත භාරදී ඇති බව සදහන්.
පොලිස් විශේෂ කාර්ය බලකායට මීට දින කිහිපයකට පෙර ලැබී තිබූ තොරතුරකට අනුවයි කොළඹින් පැමිණි විශේෂ කණ්ඩායමක් අද අලූයම කෑගල්ල නගරයේ පිහිටි ඉමිතියාස් කාදර්ගේ නිවස වටලා ඇත්තේ.
එහිදී නිවසේ සගවා තිබූ මෙම ගිනි අවි හා උණ්ඩ හමුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මොහුගේ නිවසේ තිබී හමුවූ එම්.ෆයිව්.කේ. ගිනි අවිය යුද හමුදා කමාන්ඩෝ බලකාය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය පමණක් භාවිතා කරනු ලබන ගිනි අවියක් බවයි.
කුමන අවශ්‍යතාවයක් සදහා මෙම ගිනි අවි ළග තබා ගත්තේ ද යන්න පිළිබදව පුළුල් විමර්ශණයක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.