Gossips

සපුගස්කන්දේ ‘‘මන්නා’’ ඝාතකයාගේ සිරුර නවගමුවේ ඉඩමක

නවගමුව – ගොඩැල්ලවත්තේ පාළු රබර් ඉඩමක වෙඩි වැදී මියගොස් සිටි පුද්ගලයා චමිල ප්‍රසාද් කරුණාරත්න නැමති 37 හැවිරිදි පාතාල කල්ලි සාමාජිකයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.
ඔහු පසුගිය දෙසැම්බර් මාසයේ සපුගස්කන්ද – ගල්වල මංසන්ධියේදී ව්‍යාපාරිකයෙකු වූ ධනුෂ්ක සංජීව හෙවත් මන්නා නැමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවයි පොලීසිය සඳහන් කළේ.
නවගමුව – ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ පාළු රබර් ඉඩමක මළ සිරුරක් ඇති බවට නවගමුව පොලීසියට අද උදෑසන 6.55 ට පමණ ඇමතුමක් ලැබී තිබුණා.
ඒ අනුවයි නවගමුව පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයට ගොස් සොයාබලා ඇත්තේ.
එහිදී 37 හැවිරිදි මෙම පුද්ගලයාගේ මළ සිරුර හමුවී තිබුණා.
මළසිරුර ආසන්නයේ ටී 56 ගිනි අවි සඳහා යොදන සජීවී උන්ඩ කිහිපයක් සහ හිස් පතොරම් කොපු කිහිපයක් හමුවී තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
එම උණ්ඩ වැටී තිබූ ස්ථාන පිළිබඳව සියුම්ව නිරීක්ෂණය කිරීමේදී වෙනත් ස්ථානයකදී මොහු ඝාතනය කර මෙම රබර් ඉඩමට ගෙනවිත් දැමුවේද යන්න පිළිබඳව සැක මතුවී තිබෙනවා.
මියගිය පුද්ගලයාගේ මුදල් පසුම්බිය හෝ වෙනත් කිසිදු ලියවිල්ලක් ඔහු සතුව නොතිබූ අතර, අවට පොලිස් ස්ථානවල වාර්තා සැළකිල්ලට ගනිමින් මොහු ගෝනවල – කැළණිය ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි චමිල ප්‍රසාද් කරුණාරත්න නැමති පාතාල කල්ලි සාමාජිකයා ලෙස හඳුනාගත් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.