Gossips

සඳේ නුදුටු පසට, චීනයෙන් ගවේෂණ යානයක්

නිරන්තරයෙන් පෘථිවියෙන් පිටතට මුහුණලා ඇති චන්ද්‍රයාගේ අනෙක් පස වෙත ගොඩබෑමේ අරමුණින් චීනය ඊයේ ගවේෂණ යානයක් උඩු ගුවනට යොමු කළා.
චීන පුරාවෘත්තයන් හි සඳහන් සඳ දෙවඟන යන අරුත් ඇති චාන්ගී ලෙස නම් කෙරුණු මෙම ගවේෂණ යානය ගිනිකොණ දිග චීනයේ ෂිචෑන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද අලුයම උඩු ගුවන බලා නික්මුණු බව ෂින්හුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කළා.
අභ්‍යවකාශයේ සුපිරි බලවතෙකු වීමට සිහින මවන චීනය උඩුගුවනට යැවූ චාන්ගී – 4 ගවේෂණ යානය නව වසරේදී සඳේ නුදුටු පැත්තට ගොඩබැසීමට අපේක්ෂා කරන අතර, එහි සිට පර්යේෂන රැසක් සිදුකිරීමට නියමිතයි.
මෙතෙක් ගවේෂණයට ලක් නොවූ සඳේ නුදුසු පැත්තෙන් පස් සාම්පල රැගෙන ඒමට චීනය අපේක්ෂා කරනවා.
ෂින්හුවා ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් සඳහන් කළේ නව අභ්‍යවකාශ මෙහෙයුම චන්ද්‍ර ගවේෂනයේ නව පිටුවක් පෙරළනු ඇති බවයි.
මෙතෙක් චන්ද්‍ර යානා ගොඩබට සඳේ පෘථිවියට මුහුණලා පිහිටි පැත්තේ තැනිතලා බිම් පැවතුනද අනෙක් පස කඳුකර සහ කර්කශ භූමියක් ලෙසයි සැළකෙන්නේ.
සඳේ අඳුරු පැත්තේ ඡායාරූප මුලින්ම පෘථිවියට එවනු ලැබුවේ 1959 වසරේ සෝවියට් දේශය යැවූ ගවේෂණ යානයකින්.
කෙසේ නමුත් මෙතෙක් කිසිදු ගවේෂණ යානයක් එහි ගොඩබැස නොමැති අතර, මෙහෙයුම සාර්ථක වුවහොත් චීනය එම ගවේෂණය සිදුකළ ප්‍රථම ජාතිය බවට පත්වනු ඇති.