Gossips

සනත් ජයසූරිය සාවද්‍ය තොරතුරු ලබා දී ඇතැයි ICCය කියයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සිය දූෂණ මර්ධන ඒකකය වෙත සාවද්‍ය තොරතුරු ලබා දී ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වාර්තා කරනවා.
ඔවුන් මේ බව සඳහන් කර තිබෙන්නේ ජයසූරිය මහතාට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීම සම්බන්ධ පරීක්ෂණයේ වාර්තාව හරහායි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්තාවේ සඳහන් වන අයුරින් 2017 වසරේ සැප්තැම්බර් 22 වැනිදා සනත් ජයසූරිය මහතා හමුවූ අයි.සී.සී දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් ඒ වසර ආරම්භයේ සිට ඔහු භාවිත කළ ජංගම දුරකථන දත්තපරීක්ෂාවක් සඳහා ඉල්ලා තිබෙනවා.
එහිදී ඔහු පවසා තිබෙන්නේ තමන් භාවිත කරන්නේ ජංගම දුරකථන දෙකක් පමණක් බවයි.
කෙසේ වෙතත් ඉන් පසුදා ඔහු නැවතත් අයි.සී.සී. දූෂණ මර්ධන නිලධාරීන්ට වෙනස් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
ඒ තමන් අදාළ කාලය තුළ භාවිත කළ තවත් ජංගම දුරකථන දෙකක් සිය සාක්කුවෙන් බිම ඇද වැටී අස්ථානගතවූ බවයි.
දුරකථන සේවා සම්පාදක සමාගමට පවා සොයා ගැනීමට නොහැකි වූ එම දුරකථන සහ සිම්පත් ඉන් අනතුරුව භාවිත නොකළ බවද ඔහු පවසා තිබෙනවා.
කෙසේ වෙතත් අයි.සී.සී. දූෂණ මර්ධන නිලධාරීන් සිය වාර්තාවේ සඳහන් කරන්නේ ජයසූරිය මහතා නැතිවූ බව පවසන දුරකථන සිම්පත හරහා ඇමතුම් සිය ගණනක් ලබාගෙන ඇති බව තමන් අදාළ දුරකතනයේ බිල් පත් මගින් තහවුරු කර ගත් බවයි.
අදාළ ප්‍රශ්න කිරීමෙන් සති දෙකකට පසු තීතීඥයෙකු සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල දූෂණ මර්ධන නිලධාරීන් හමුවන ජයසූරිය මහතා නැවත වරක් සිය ප්‍රකාශය වෙනස් කර තිබෙනවා.
ඒවර ඔහු පවසා තිබෙන්නේ පෙර පැවසූ පරිදි සිය දුරකථනය අස්ථානගත නොවූ බවයි.
2017 වසරේ මැයි 24 වන දින මාධ්‍යවේදීන් සමග ඇතිවූ ගැටළුවක් හේතුවෙන් අදාළ දුරකථනය බිම ගසා විනාශ කළ බව සහ ඉන් අනතුරුව අදාළ සිම්පත භාවිත නොකළ බවයි 2017 ඔක්තෝබර් 15 වැනිදා ජයසූරිය මහතා අයි.සී.සී දූෂණ මර්ධන ඒකකයට පවසා තිබෙන්නේ.
කෙසේ වෙතත් එම කරුණ ද සත්‍යතාවයෙන් තොර බව පවසන ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්තාවට අනුව මැයි 24 වැනිදායින් පසු අදාළ සිම්පත දුරකථන ඇමතුම් ලබා ගැනීමට මෙන්ම කෙටි පණිවුඩ යැවීමට ද භාවිත කර තිබෙනවා.
එමෙන්ම දුරකථනය භාවිත නොකළ බවට ජයසූරිය මහතා පවසන කාල සීමාව තුළ හුවමාරු වූ ''තමන් සම්බන්ධ කර ගැනීම සඳහා අදාළ දුරකථන අංකය භාවිත කරන ලෙස'' සඳහන් වට්ස්ඇප් පනිවුඩයක් ද සොයා ගත් බව මේ වාර්තාවේ සඳහන්.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ මෙම කරුණු මෙන්ම සිය් දුරකථන දත්ත සැපයීමට අපොහොසත් වීම යන කරුණු පදනම් කරගෙන ජයසූරිය මහතාට වසර දෙකක තහනමක් පැවැවීමට තීරණය කළ බවයි.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අදාළ දත්ත පරීක්ෂාව සඳහා උත්සාහ කළ කාල සීමාව තුළ සනත් ජයසූරිය මහතා තේරීම් කමිටු සභාපති ලෙස කටයුතු කළ අතර එම කාලයේ ශ්‍රී ලංකාව මෙරටදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක් පරාජය වුණා.
එමෙන්ම අදාළ කාලය තුළ වඩාත්ම ආන්දෝලනයට ලක්වූ සිදුවීම වුණේ ඉන්දියාව සමග පැවති තරගයක් සඳහා වැඩ බලන නායක ලෙස පත් කෙරුණු චාමර කපුගෙදර කාසියේ වාසිය දිනාගත් අවස්ථාවේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කිරීමයි.
නමුත්, තරගයට පෙර පැවති කණ්ඩායම් රැස්වීමේදී කාසියේ වාසිය දිනාගතහොත් පළමුවෙන් පන්දු රැකීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබුණා.