Gossips

සදහම් යාත්‍රා 45 වන දම්සභාව ජනපති ප්‍රධානත්වයෙන් ගම්පහ දී

ජනපති – සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 45 වන දම් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සහභාගීත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වුණා.
ඒ, ගම්පහ – ජාත්‍යන්තර සාම විහාරය කේන්ද්‍ර කර ගනිමින්.
අද (22) පෙරවරුවේ එම විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව ධර්ම දේශනය ශ්‍රවණය කිරීමට ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මේ අතර ශ්‍රී ලංකාවේ දුරබැහැර ප්‍රදේශවල අඩු පහසුකම් සහිත විහාරස්ථාන සංවර්ධනය උදෙසා ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක වන බෞද්ධ පුනරුද අරමුදලෙන් විහාරස්ථාන සඳහා මූල්‍යාධාර පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (21) පස්වරුවේ සිදුකෙරුණා.
උතුරු – නැගෙනහිර පළාතේ විහාරස්ථාන ඇතුළු තවත් විහාරස්ථාන 46ක් වෙනුවෙන් රුපියල් මිලියන 195ක මුදලක් මෙහිදී අදාළ විහාරාධිපති ස්වාමීන් වහන්සේලා වෙත ජනාධිපතිවරයා අතින් පිරිනැමුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
බෞද්ධ පුනරුද අරමුදල යටතේ අඩු පහසුකම් සහිත විහාරස්ථාන විශාල ප්‍රමාණයක සංවර්ධන කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින අතර, ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ත්‍රිවිධ හමුදාවේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහාය සහ ශ්‍රම දායකත්වය එම කටයුතු සඳහා ලබාදෙනු ඇති.