Gossips

සතියකින් පසු පළාත් සභා ඡන්දය ගැන තීන්දුවක්

කතානායකවරයා සහ පළාත් සභා විෂය භාර අමාත්‍යවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව ඉදිරි පියවර ලබන මාසය තුළ ගන්නා බවට ප්‍රකාශ කළේ යැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළා.
ඔහු මේ බව කියා සිටියේ කතානායකවරයා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා, සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති කේ.තවලිංගම් සමඟ පාර්ලිමේන්තු සංකීර්ණයේ අද පැවති විශේෂ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පළාත් සභා මැතිවරණය පිළිබඳව පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදයක් ලබන මස 05 වැනිදා පැවැත්වීමට නියමිත අතර, එහිදී මන්ත්‍රීවරුන් දක්වන අදහස් කෙරෙහි අවධානය යොමුකරන ලෙසට කතානායක කරූ ජයසූරිය, අද පැවති සාකච්ඡාවේදී පළාත් සභා සීමා නිර්ණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
පළාත් සභා මැතිවරණය ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව සාකච්ඡාවට එක්වූ සියලූ පාර්ශවයන් අවධාරණය කර ඇති අතර, එහිදී විශේෂයෙන් අවධානයට යොමුව ඇත්තේ පළාත් සභා මැතිවරණයේදී උපයෝගී කරගන්නා මැතිවරණ ක්‍රමය පිළිබඳවයි.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා කඩිනමින් මැතිවරණය පැවැත්විය යුතු බව කතානායකවරයා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළ බවයි කතානායක කාර්යාලය නිවේදනය කළේ.
උතුරු මැද පළාත් සභාවේ නිල කාලය පසුගිය වසරේ ඔක්තෝම්බර් 01 වැනිදා අවසන් වූ අතර, සබරගමුව පළාත් සභාවේ නිල කාලය අවසන් වුණේ පසුගිය වසරේ සැප්තැම්බර් 26 වැනිදායී.
නැගෙනහිර පළාත් සභාවේ නිල කාලය පසුගිය වසරේ සැප්තැම්බර් 30 වනදා අවසන් වුණා.
ඒවායේ පාලනය මේ වනවිට අදාළ පළාත් ආණ්ඩුකාරවරුන් විසින් සිදුකරනු ලබනවා.
මධ්‍යම, වයඹ, උතුර පළාත් සභාවල නිල කාලය ලබන ඔක්තෝම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබෙනවා.