Gossips

සතිඅන්තය වන විට රටපුරා රෝහල්වල ලේ හිඟයක් ?

ජාතික රුධිර මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්ෂ්‍යවරයා ඉවත්කරන ලෙස රජයට බලකරමින් නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් ඊයේ ආරම්භ කල වෛද්‍ය වර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක වුණා.
ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් පවසන්නේ මෙම වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් සතිඅන්තය වන විට රටපුරා රෝහල්වල ලේ හිඟයක් ඇතිවිය හැකි බවයි.
ජාතික රුධිර පාරවිලයන සේවයේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාට එල්ල වන දූෂණ අක්‍රමිකතා චෝදනා කිහිපයක් පිළිබඳව අප පසුගිය දින කිහිපයේම තොරතුරු අනාවරණය කළා.
එම චෝදනා වැඩබලන අධ්‍යක්ෂ්‍යවරයා ප්‍රතික්ෂේප කලද ඔහුව අදාල තනතුරෙන් ඉවත්කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයට බලකරමින් ඉතිහාසයේ ප්‍රථමවතාවට ජාතික රුධිර මධ්‍යස්ථානයේ වෛද්‍යවරුන් ඊයේ වැඩවර්ජනයක් ආරම්භ කළා.
වැඩබලන අධ්‍යක්ෂ්‍යවරයා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු පියවරක් නොගැනීම හේතුවෙන් අද දෙවන දිනටත් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වුණා.
ජාතික රුධිර මධ්‍යස්ථානයේ සේවය කරන වෛද්‍යවරුන් සදහන් කරන්නේ හෙට දිනය වන විට අදාල ගැටළුවට විසදුමක් ඉදිරිපත් කිරීමට බලධාරීන් අපොහොසත් වුවහොත් රටපුරා පැවැත්වෙන ලේ දන්දීමේ කදවුරුවල රාජකාරී කටයුතුවලින්ද තමන් ඉවත්වන බවයි.
ඒ අනුව එළැඹෙන සතිඅන්තය වන විට රටපුරා රෝහල්වල සැත්කම් සදහා අවශ්‍ය ලේ හිඟයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ඔවුන් සදහන් කරනවා.