Gossips

සංශෝධනයෙන් පසු කැබිනට් මණ්ඩලය පළමු වරට අද රැස්වේ

පසුගියදා සිදු කෙරුණු අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් අනතුරුව ප්‍රථම වතාවට කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (09) රැස්වීමට නියමිතයි.
බොහෝ අවස්ථාවන්වලදී අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව පැවැත්වෙන්නේ අඟහරුවාද දින වුවත් ඊයේ (08) පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වැඩි අවධානයක් යොමු කිරීම හේතුවෙන් කැබිනට් රැස්වීම පැවැත්වීමට නොහැකි වූ බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
ඒ අනුව අද (09) දිනයේ සිදුවන අමාත්‍ය මණ්ඩල හමුවේදී යහපාලන ආණ්ඩුවේ ඉදිරි පියවර සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
ඊට අමතරව, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව නිරාකරණය කරගැනීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුකරවනු ඇති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරු ඇතුලු 16 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයේ අසුන් ගැනීම සිදුවූ අතර, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාලද එම පිරිසට ඇතුළත්.
ඔහු විපක්ෂයේ අසුන් ගැනීමත් සමඟ නියෝජ්‍ය කථානායක ධුරය වෙනත් පුද්ගලයෙකුට ලබාදීමට සිදුවනවා.