Gossips

සංවර්ධන ව්‍යාපෘතිවල පවතින නඩු ගැන කැබිනට්ටුවේ අවධානය

සංවර්ධන ව්‍යාපෘතිවල පවතින නඩු කඩිනමින් අවසන් කර ඒවා ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සළසා දෙන ලෙස ඊයේ (24) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුව තිබෙනවා.
මුදල් ගෙවීම්, ගිවිසුම් ගත කාලසීමාව අවසන් නොවීමට පෙර කොන්ත්‍රාත් සමාගම ව්‍යාපෘතියෙන් ඉවත් කිරීම යනාදි කරුණු පදනම් කරගනිමින් අධිකරණවල පවරා ඇති නඩු රැසක් හේතුවෙන් බොහෝ සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදවී ඇති බවයි අමාත්‍යවරුන් කිහිපදෙනෙකු මෙහිදී පෙන්වා දී ඇත්තේ.
එම කරුණු සැළකිල්ලට ගනිමින් නීතිමය ගැටළු පවතින සංවර්ධන ව්‍යාපෘතිවල නඩු කඩිනමින් අවසන් කිරීමට ඇති හැකියාව පිළිබඳව අවධානය යොමු කරන ලෙස අධිකරණ අමාත්‍යවරියගෙන් බොහෝ අමාත්‍යවරු ඉල්ලා සිටි බවයි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.
මීට අමතරව නිවාස පනස් දහසේ ජාතික ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු සම්බන්ධයෙන් ද ඊයේ පැවති කැබිනට් මණ්ඩලයේදී ගැටළුවක් මතුව තිබෙනවා.
මීට පෙර එම ව්‍යාපෘතිය ලබාදීම සඳහා චීන සමාගමකට ටෙන්ඩර් ලබාදීමට කැමැත්ත පළ කර තිබියදී ඉන්දීය සමාගමක් එම ව්‍යාපෘතියම ඉල්ලා සිටීම මෙම ගැටළුව ඇතිවීමට හේතුවී ඇති බව සඳහන්.
ඒ අනුව පවතින ගැටළුකාරී තත්ත්වය විසඳාගැනීම සඳහා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා විසින් සාකච්ඡා කර විසදුමක් ලබාදෙන බවයි දැනුම් දී ඇත්තේ.