Gossips

සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සේවා අඩපණ නොවිය යුතු බව ජනපති අවධාණය කරයි

කුමන හේතුවක් නිසා හෝ් රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සුබසාධන සේවාවන් අඩපණ නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කරනවා.
අදාළ මූල්‍ය වර්ෂය සඳහා වෙන්කර තිබෙන සියලූ මුදල් නිසි පරිදි වැයකර ජනතා අවශ්‍යතා උපරිමයෙන් ඉටුකරන ලෙසටයි ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ.
එමෙන්ම ඉදිරි නව වසරට අදාළ සංවර්ධන සැලසුම් ද නිසි පරිදි සැලසුම් කරන ලෙස දැනුම් දී තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළේ අද (05) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ පවතින දේශපාලන නොසන්සුන්තාවය ගැටලූවක් කර නොගෙන මහජන සේවාවන් සහ සංවර්ධන වැඩපිළිවෙළ සක්‍රියව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නිලධාරින් කැපවිය යුතු බවයි.
ජනතා සුබසෙත වෙනුවෙන් තම මගපෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාවට නංවා තිබෙන සියලූ විශේෂ ව්‍යාපෘති 2019 වසරේ දී නව ජවයකින් සහ ශක්තිමත්ව ක්‍රියාවට නැංවීමට සැලසුම් සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.
ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය ද ඉදිරි වසරේ වඩා ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති අතර ඒ සඳහා දිස්ත්‍රික් මට්ටමින් පත්කර ඇති සම්බන්ධීකරණ නිලධාරින් නිසි ලෙස තම වගකීම් ඉටුකිරීමේ වැදගත්කම ද පැහැදිළි කර තිබෙනවා.
රට තුළ පවතින වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියාසිටියේ පක්ෂය තුළ නොමැති ප්‍රජාතන්ත්‍රවාදයක් රට තුළ ඇති කිරීමට රනිල් වික්‍රමසිංහට හැකියාවක් නොමැති බවයි.
වසර 25 ක් එක්සත් ජාතික පක්ෂයේ නායකයාව සිටින රනිල් වික්‍රමසිංහ එහි පසුපෙළ කිසිවෙකුට හිස එසවීමට ඉඩ නොදෙන අතර, රටේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඉහළින් කතා කරන ඔහු පළමුව තම පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදී කරගතයුතු බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.