ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මෙන්ම හිටපු නායකයෙකු වූ කුමාර් සංගක්කාරට සුවිශේෂ වගකීමක් පැවරූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගම් සම්මේලනය විසින් පත්කළ නව ක්‍රීඩක උපදේශක කමිටුව සඳහා සුපිරි ක්‍රීඩක සංගා ද කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.
මෙම කමිටුව මගින් අපේක්ෂා කරනු ලබන මූලික කරුණ වන්නේ ක්‍රීඩකයන් මුහුණදෙන ගැටළු පිළිබඳව සොයාබලා ඔවුන් වෙනුවෙන් හඬ නැගීමයි.
ඒ අනුව එහිදී ඔවුන් මුහුණදෙන ඉහළ මට්ටමේ ගැටලු සහ විවිධ කරුණු පිළිබඳ සොයාබැලීම මෙම කමිටුව හරහා සිදුකෙරෙනු ඇති.
මේ අතර දකුණු අප්‍රිකා හිටපු නායක ග්‍රැහැම් ස්මිත් ද මෙම කමිටුවට ඇතුළත්ව සිටිනවා.
එසේම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා කරන නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර්, බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර්, අයර්ලන්ත ක්‍රීඩක විලියම් පොර්ට්ෆීල්ඩ්, බංග්ලාදේශ ක්‍රීඩක ශකිබ් අල් හසන්, ඕස්ට්‍රේලියා ක්‍රීඩක ආරොන් ෆින්ච්, දකුණු අප්‍රිකා ක්‍රීඩක ජේ. පී. ඩුමිනි සහ ස්කොට්ලන්ත ක්‍රීඩක කයිල් කොට්සර් එම කමිටුවේ සෙසු සාමාජිකයන් වනවා.
කෙසේ වෙතත් එයට පත්කර ඇති සුවිශේෂ සාමාජිකයන් කිහිපදෙනෙකු හේතුවෙන් ලෝකයේම විශේෂ අවධානය මෙම කමිටුව වෙත යොමුව තිබෙනවා .
ඒ එම කමිටුව තුළ ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ඨ ක්‍රීඩකයන් මෙන්ම විවිධ අවස්ථාවල පිටිය තුළ දැඩි ගැටුම් ඇතිකරගත් ක්‍රීඩකයන් ද සිටීම හේතුවෙන්.
එහි ප්‍රබලතම සාක්ෂිය වන්නේ පසුගියදා ශ්‍රී ලංකාවේදී පැවති නිදහස් කුසලාන තරඟාවලියේදී ක්‍රීඩා පිටිය තුළ අශෝබන ලෙස හැසිරෙමින් ක්‍රීඩාංගණයට පවා හානි සිදුකළ බංගලාදේශ නායක ෂකීබ් අල් හසන් ද එහි සාමාජිකයෙක් ලෙස නම් කිරීමයි.
