Gossips

සංගක්කාර, ක්‍රීඩා ඇමතිගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි – ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරන ලෙස ඉල්ලයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර ලිපියක් යොමු කර තිබෙනවා.
එහිදී ඔහු සදහන් කර ඇත්තේ මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක මණ්ඩලවල කටයුතු කර ඉදිරිපත් කළ නිර්දේශ ක්‍රියාත්මක නොවූ බවයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය ඉහළ නැංවීමට තාවකාලික විසදුම් ප්‍රමාණවත් නොවන බව පවසන කුමාර් සංගක්කාර ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව මෙන්ම ක්‍රීඩා නීතිය වෙනස් කළ යුතු බව පෙන්වා දෙනවා.
මේ අතර ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස එක්වන්නැයි ක්‍රීඩා අමාත්‍යවරයා කළ ඉල්ලීම හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන් සහ රොෂාන් මහානාම විසින් මීට පෙර ප්‍රතික්ෂේප කළා.
මුත්තයියා මුරලිදරන් සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, රොෂාන් මහානාම අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින්.
මේ අතර හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ද අමාත්‍යවරයාගේ මෙම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර, ඔහු ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබුණේ ක්‍රිකට් පද්ධතිය පිළිබඳව තමන්ට විශ්වාසයක් නොමැති බවයි.
ක්‍රිකට් ආයතනයේ, උපදේශකවරුන් ලෙස එක්වන්නැයි අමාත්‍යවරයා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂන් මහානාමගෙන් පසුගිය දා ඉල්ලීමක් කළා.
කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම ඉල්ලීමට අරවින්ද ද සිල්වා මෙතෙක් ප්‍රතිචාර දක්වා නැහැ.