Gossips

ශිෂ්‍ය භික්ෂුව ඇතුළු දස දෙනාට ඇප

විරෝධතාවක් අතරතුර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට බලහත්කාරයෙන් ඇතුළුවීමට උත්සාහ කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක ඇතුළු සරසවි සිසුන් 10 දෙනා ඇප මත මුදා හැර තිබෙනවා.
ඒ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට අද (04) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
එහිදී රුපියල් දස දහසක මුදල් ඇප සහ ලක්ෂ 5 ක ශරීර ඇප මත ඔවුන් මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.
එමෙන්ම, වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදීම හේතුවෙන් අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව ගොනුකර ඇති නඩු 05 ක් විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද දින නියම කළා.
2010 වසරේ සිට 2014 වසර දක්වා මෙලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙලෙස නඩු ගොනුකර තිබෙනවා.
ඒ අනුව අදාළ නඩු ජුලි මස 23 වැනිදා විභාග කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර අද නියෝග කළේ.
මේ අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ දිවිනැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවකට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුව ජුලි මස 17 වැනිදා දක්වා කල් දැමුණා.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැය කරමින් ලිත් මුද්‍රණය කිරීමේ සිද්ධියට අදාළවයි ඔවුන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත්තේ.