Gossips

ශිෂ්‍යත්ව විභාගය සාර්ථකව අවසන්

විභාග මධ්‍යස්ථාන 3050කදී අද (05) පැවැති ශිෂ්‍යත්ව විභාගය කිසිදු ගැටළුවකින් තොරව සාර්ථකව අවසන් වූ බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පවසනවා.
මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන් සංඛ්‍යාව තුන්ලක්ෂ 55,326ක්.
අද (05) පැවැත්වුණු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්ණපත්‍ර ළඟ තබාගැනීම, විකිණීම, මුද්‍රණය කිරීම හෝ අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සිදුකළහොත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
එමෙන්ම ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ ආකාරය හෝ විභාගය පිළිබදව සිසුන්ගෙන් අනවශ්‍ය විමසීම් සහ බලපෑම් සිදුනොකරන ලෙස තමන් දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
මේ අතර, විවිධ බාධක මධ්‍යයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සිසුන් පෙනී සිටි අවස්ථා කිහිපයක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.
සිය මව සමඟ පාපැදියකින් විභාගයට පෙනී සිටීම සඳහා යමින් සිටි පාසල් දැරියක් මහියංගණය – හද්දත්තාව ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
වන අලි ප්‍රහාරයෙන් දෙදෙනාටම සුළු තුවාල සිදුවුවද දැරිය නියමිත පරිදි විභාගයට පෙනී සිටි බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම, වන අලි ප්‍රහාරයකින් මිය ගිය සිය පියාගේ දේහය නිවසේ තිබියදී ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුවියක් පිළිබඳ තොරතුරු අම්පාර – පන්නලගම – කුමන ප්‍රදේශයෙන් වාර්තා වුණා.
අනුරාධපුරය – පදවිය ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ (04) පැවති ශිෂ්‍යත්ව විභාග ආශිර්වාද පූජාවක් අතරතුර එල්ල වූ දෙබර ප්‍රහාරයකින් තුවාල ලැබූ සිසුන් 123 දෙනා ද ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිට තිබෙනවා.
දඹුල්ල ජාතික පාසලේ පැවති ශිෂ්‍යත්ව මධ්‍යස්ථානයට සිය දරුවා රැගෙන යාමට පැමිණි මවකට සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දීමට උත්සාහ කර ඇති අතර, ඇයගේ සොහොයුරාට එම ප්‍රහාරය එල්ල වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පවුල් ආරවුලක් මත මෙය සිදුව ඇති අතර කෙසේ වෙතත්, විභාග රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් වහා මැදිහත්ව සැකකරු මෙල්ල කර ඇති බවයි.
සිද්ධිය වන අවස්ථාවේදී සැකකරු බීමත්ව සිට ඇති බවටයි අනාවරණ වුණේ.