Gossips

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථමයන් මෙන්න

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.
පිලියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ සහ වේයන්ගොඩ – ශාන්ත මරියා මහා විද්‍යාලයේ සනූප දිමත් පෙරේරා, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව ලකුණු 199 ක් ලබා ගනිමින් දිවයිනේ ප්‍රථම ස්ථානයට පත්වුණා.
ලකුණු 198 ක් ලබා ගත් සිසුන් තුන් දෙනෙකු සිටින අතර, මිනුවන්ගොඩ රෙජී රණතුංග ප්‍රාථමික විද්‍යාලයේ සෙනුජි අකිත්මා, යාපනය හින්දු ප්‍රාථමික පාසලේ මාගේන්ද්‍රන් තිගාලොලිබවන් සහ චාවකච්චේරි හින්දු ප්‍රාථමික පාසලේ නවාස්කන් නාති එම සිසුන් තුන්දෙනායි.
ලකුණු 197 ක් ලබා ගනිමින් ශිෂ්‍යත්ව විභාගයේ තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ වව්නියාව – සිවපුරම් ප්‍රාථමික පාසලේ බාලකුමාර් හරිතිකන්සුජායි.
ලකුණු 196 බැගින් ලබාගෙන 4 වන ස්ථානයට පත් සිසුන් 23 දෙනෙකු සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ශිෂ්‍යත්ව විභාගයෙන් පාසල් වලට සිසුන් තෝරා ගැනීමට හා ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට අදාළ කඩයිම් ලකුණු ද නිකුත් කර ඇති අතර, ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය සඳහා ලකුණු 168 ක් සිංහල මාධ්‍ය අවම කඩයිම් ලකුණ ලෙසත්, ලකුණු 165 ක් දෙමළ මාධ්‍ය අවම කඩයිම් ලකුණ ලෙසත් දක්වා තිබෙනවා.
ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, කුරුණෑගල, කෑගල්ල, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයේ අවම කඩයිම් ලකුණ 168 ක් වන අතර, දෙමළ මාධ්‍ය අවම කඩයිම් ලකුණ වන්නේ ලකුණු 165 ක්.
යාපනය, මඩකලපුව, සහ වව්නියාව දිස්ත්‍රික්ක වල දෙමළ මාධ්‍යයේ අවම කඩයිම් ලකුණ 164 ක්. හම්බන්තොට, රත්නපුර දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය අවම කඩයිම් ලකුණ 166 ක් වන අතර, ලකුණු 165 ක් සිංහල මාධ්‍ය අවම කඩයිම් ලකුණ ලෙස දක්වා ඇත්තේ මොනරාගල, බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, යන දිස්ත්‍රික්කවලටයි.
අගෝස්තු මස 5 වනදා විභාග මධ්‍යස්ථාන 3050 කදී ශිෂ්‍යත්ව විභාගය පැවැති අතර, ඒ සඳහා පෙනී සිටි සිසුන් සංඛ්‍යාව තුන්ලක්ෂ 50,191 ක්.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් නැවත පරීක්ෂාවක් සිදුකිරීමට අවශ්‍ය නම් මේ මස 20 වනදාට පෙර පාසලේ විදුහල්පතිවරුන් හරහා අභියාචනා ඉදිරිපත් කළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කළේ.