Gossips

ශ්‍රී ලාංකේය සිනමාවේ ස්වර්ණමය රාත්‍රිය – හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස නිමාව දකී – හොඳම චිත්‍රපටය ‘‘ඇගේ ඇස අග’’

ශ්‍රී ලාංකේය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ, ප්‍රමිතිගත අන්තර්ජාතික සිනමා සම්මාන රාත්‍රියක උත්කර්ශය රැගත්, හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සුගතදාස ගෘහස්ථ පරිශ්‍රයේදී ඊයේ නිමාවට පත් වුණා.
ඒ බොලිවුඩ් සුපිරි තරු මෙන්ම මෙරට සිනමා තාරකාවන් ඇතුළු කලා ශිල්පීන් සහ ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන්.
බොලිවුඩ් සුපිරි තරු මෙන්ම, මෙරට ජනප්‍රිය මෙන්ම ප්‍රවීන සිනමා ශිල්පීන්ගේ සම්ප්‍රාප්තිය, රන් පලස මතින් සිදුවීමෙන් අනතුරුව, සම්මාන උළෙල ආරම්භ වුණා. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව සංවිධාන වන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් මෙවර සම්මාන උළෙලට සිද්ධාර්ත් මල්හෝත්‍රා, ශිල්පා ෂෙට්ටි, සයිෆ් අලි ඛාන්, ගෝවින්දා සමගින් සරීන් ඛාන්, ජුහී චවුලා සහ සෝනක්ෂි සිංහා යන සුපිරි බොලිවුඞ් තරු එක්වීම ද විශේෂත්වයක්.
සුපිරි සිනමා තරු රැසකගේ සහභාගීත්වයෙන් පැවති සම්මාන රාත්‍රිය විවිධ නර්තනාංග ඇතුළු විශේෂාංග රැසකින් වර්ණවත් වී තිබුණා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සම්මාන උළෙලක් සඳහා භාවිතා කළ නවීනතම තාක්ෂණයෙන් යුතු ආලෝකකරණ පද්ධතියක් මෙවර ද ඊට යොදා තිබුණු අතර, දියුණුම ශබ්ද පරිපාලන පද්ධතියක් සහ කැමරා පද්ධතියක් ද ඊට එක්වුණේ ජාත්‍යන්තර ප්‍රමිතියේ සම්මාන උළෙලක විචිත්‍රත්වය යළි යළි තහවුරු කරමින්.
ඒ අනුව හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් 2018 සම්මාන උළෙලේ හොඳම චිත්‍රපට අධ්‍යක්‍ෂණය වෙනුවෙන් ‘‘28’’ චිත්‍රපටයේ ප්‍රසන්න ජයකොඩි සම්මාන දිනාගත් අතර, හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍රවූයේ අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ ඇගේ ඇස අග චිත්‍රපටයයි.
වසරේ හොඳම නළුවා ලෙස සයපෙති කුසුම චිත්‍රපටයේ දසුන් පතිරණ සම්මානයට පාත්‍ර වුණා.
හොඳම නිළිය ලෙස සම්මාන හිමිකරගත්තේ ඇගේ අස අග චිත්‍රපටයේ රඟපෑ ස්වර්ණා මල්ලවාරච්චියි.
වසරේ ජනප්‍රියතම චිත්‍රපටය ලෙස පත්තිනි චිත්‍රපටය සම්මානයට පාත්‍ර වූ අතර, ජනප්‍රිය නළුවා ලෙස උද්දික ප්‍රේමරත්න සම්මානයට පාත්‍ර වුණා.
ජනප්‍රිය නිළිය වූයේ පූජා උමාශංකර්.
ජනප්‍රිය ළමා නිළිය ලෙස ධර්ම යුද්ධය චිත්‍රපටයේ රඟපෑ විනුමි වන්සදී සම්මාන හිමිකරගත්තා.
හොඳම සහය නළුවා ලෙස ධර්ම යුද්ධය චිත්‍රපටයේ කුමාර තිරිමාදුරත්, හොඳම සහය නිළිය ලෙස ‘‘ඒ ලෙවල්’’ චිත්‍රපටයේ රඟපෑ උමාලි තිලකරත්න සම්මානයට පාත්‍ර වුණා.
හොඳම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියාට හිමි සම්මානය මහේන්ද්‍ර පෙරේරා හිමිකරගත් අතර හොඳම ප්‍රතිවීර රංගනයට හිමි සම්මානයට හිමිකම් කියනු ලැබුවේ බන්ධනය චිත්‍රපටයේ රඟපෑ සිරිල් වික්‍රමගේයි.
එමෙන්ම සිනමාවේ නව මානයන් ප්‍රගුණ කළ නිර්මාණකරුවාට හිමි හිරු ටෙ‍්‍රන්ඞ් සෙටර් සම්මානය හේමාල් රණසිංහ හිමිකරගත්තා.
හොඳම තිර රචනයට හිමි සම්මානය ඇගේ ඇස අග චිත්‍රපටයේ අශෝක හඳගමට හිමිවූ අතර හොඳම කැමරා අධ්‍යක්‍ෂවරයා ලෙස සම්මාන හිමිකරගත්තේ එම චිත්‍රපටයේ චන්න දේශප්‍රියයි.
හොඳම සංස්කරණයට හිමි සම්මානය මෝටර් බයිසිකල් චිත්‍රපටයේ තිසර සුරේන්ද්‍ර ට හිමිවුණා.
හොඳම අංග රචනය ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ ජයන්ත රණවකට හිමිවූ අතර, හොඳම අංග වස්ත්‍ර නිර්මාණයට හිමි සම්මානය සරිගම චිත්‍රපටයේ මෙත්නුවන් විජේසිංහ විසින් හිමිකරගත්තා.
හොඳම සටන් අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය හිමිකරගත්තේ ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ සඳුන් ප්‍රනාන්දුයි.
ජනප්‍රියම ගීතයට හිිමි සම්මානය හිමිවූයේ ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ එඩිබින්දා මන බන්දා ගීතයටයි. හොඳම පසුබිම් ගායකයා ලෙස පත්තිනි චිත්‍රපටයේ ‘‘සංසාරේ ගිරි දුර්ගය’’ ගීතය ගායනා කළ අමරසිරි පීරිස් සම්මානයට පාත්‍ර වුණා.
හොඳම පසුබිම් ගායිකාව වූයේ සරිගම චිත්‍රපටයේ ‘‘මේ සීත උදයේ’’ ගීතය ගැයූ උරේෂා රවීහාරියි.
හොඳම ගී පද රචනය සඳහා වූ සම්මානය මහාචාර්ය සුනිල් ආරියරත්න හිමිකරගත් අතර, හොඳම පසුබිම් සංගීත අධ්‍යක්‍ෂණයට හිමි සම්මානය ආචාර්ය රෝහණ වීරසිංහයන් හිමිකරගත්තා.
එමෙන්ම ආසියානු චිත්‍රපට ක්‍ෂේත්‍රයට කළ මෙහෙය වෙනුවෙන් රන් සම්මානය හිමිවූයේ සුපිරි බොලිවුඞ් නළු ගෝවින්දා අහුජාටයි.
ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන හිරු ජීවන ප්‍රයාම රන් සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ප්‍රවීන රංගන ශිල්පිනී ආචාර්ය මාලනී ෆොන්සේකායි.
ඊට අමතරව ආචාර්ය ධර්මසේන පතිරාජයන් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙන් හිරු උත්තමාචාර රන් සම්මාන පිරිනැමුණා.
එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ සංවිධාන වූ ජාත්‍යන්තර ප්‍රමිතියේ එකම සම්මාන උළෙල වන හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස් සිනමා සම්මාන උළෙල 2014 වසරේදී ආරම්භ වූයේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුවයි.