Gossips

ශ්‍රී ලාංකික සාම සාධක ඛණ්ඩයට එල්ල වූ ප්‍රහාරය ජගත් මහලේකම්වරයා හෙළා දකී

අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී බෝම්බ ප්‍රහාරයට ලක්ව ශ්‍රී ලාංකික හමුදා කපිතාන්වරයෙකු සහ තවත් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වීම පිළිබදව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් කණස්සල්ල පළ කර තිබෙනවා.
අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ඉලක්ක කර ඊයේ (25) උදෑසන සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් කපිතාන්වරයෙකු සහ සෙබලෙකු ජීවිතක්ෂයට පත්වුණා.
ප්‍රහාරයෙන් තවත් ශ්‍රී ලාංකික සෙබළුන් තුන්දෙනෙකු තුවාල රෝහල් ගත කරනු ලැබුවා.
දුරස්ථ පාලකයක් මඟින් ක්‍රියා කරන බෝම්බයක් පුපුරුවා හැර මෙම ප්‍රහාරය එල්ල වුණේ ශ්‍රී ලංකා භට කණ්ඩායම ගමන් කළ සංග්‍රාමික රථයක් ඉලක්ක කරගෙනයි.
මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජගත් මහලේකම්වරයා ප්‍රකාශ කළේ ප්‍රහාරයට සම්බන්ධ කණ්ඩායම් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමට මාලි බලධාරීන් කටයුතු කළ යුතු බවයි.
ජගත් සංවිධාන සාම සාධක භටයන් ඉලක්ක කරගෙන එල්ල කරන මෙවැනි ප්‍රහාර යුද අපරාධ මට්ටමින් සැලකිය යුතු බවයි ජගත් මහලේකම්වරයා කියා සිටියේ.
එමෙන්ම මෙවැනි ප්‍රහාර තුළින් මාලි රාජ්‍යයේ සාමය සහ ස්ථාවරභාවය උදෙසා ජගත් සංවිධානය ක්‍රියාත්මක කරන සාම සාධක මෙහෙයුම්වලට බලපෑමක් සිදුනොවන බව ද ඔහු අවධාරණය කළා.
ශ්‍රී ලාංකික සාම සාධක භටයන්ට එල්ල වූ ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ද හෙළා දැක තිබෙනවා.
මාලි රාජ්‍යයේ ජගත් සංවිධාන සාම සාධක මෙහෙයුම පසුගිය කාලය තුළ ප්‍රහාර රැසකට මුහුණ දුන් අතර, පසුගිය 20 වන දා එලෙස චෑඩ් රාජ්‍යයේ සාම සාධක සෙබළුන් ඉලක්ක කර ගත් ප්‍රහාරයකින් සාම සාධක භටයන් දස දෙනෙකු මිය ගියා.
චෑඩ් රාජ්‍යය ඊශ්‍රායලය සමඟ නැවත සබදතා ආරම්භ කිරීම නිසා එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ අල්ඛයිඩා සංවිධානයේ මාලි මෙහෙයුම් සිදුකරන ජමාට් නුසාරට් අල් – ඉස්ලාම් මුස්ලිමීන් නැමැති කණ්ඩායම විසින් බව අනාවරණ වුණා.
ශ්‍රී ලාංකික සාම සාධක ඛණ්ඩයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ කපිතාන්වරයා පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි එච්.ඩබ්ලිව්. ජයවික්‍රම නමැත්තෙක්.
ඔහු 11 වන පාබල රෙජිමේන්තුව යටතේ සේවය කළ අයෙකු බව ද යුද හමුදාව ප්‍රකාශ කළා.
ජීවිතක්ෂයට පත්වූ සෙසු කෝප්‍රල්වරයා කුරුණෑගල – පොල්පිතිගම පදිංචි එස්.එස්. විජේකුමාරයි.
ඔහු පළමු යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ අයෙක්.
ඔවුන්ගේ දේහයන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක කර ඇති බව යුද හමුදාව ප්‍රකාශ කළා.