Gossips

ශ්‍රී ලාංකික අයි.එස්. සැකකරුගේ ඉලක්ක හෙළිවේ

අයි.එස්. සංවිධානයට සම්බන්ධව ඕස්ට්‍රේලියාවේ ත්‍රස්ත ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කළැයි සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ 25 හැවිරිදි ශ්‍රී ලාංකික මුස්ලිම් තරුණයාට ඇප ලබාදීම එරට ප්‍රාන්ත අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
නිව් සවුත්වේල්ස් විශ්වවිද්‍යාලයට අනුබද්ධ කොන්ත්‍රාත් සේවකයෙකු ලෙස කටයුතු කළ මොහොමඩ් නිසාම්ඞීන් නමැති මොහු ශිෂ්‍ය වීසා මත ඕස්ට්‍රේලියාවට පැමිණි අයෙකු බවයි හෙළිදරව් වී ඇත්තේ.
ඕස්ට්‍රේලියානු ත්‍රස්ත මර්දන කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගත් සැකකරුගේ සටහන් පොත්වල සිඞ්නි නුවර මර්මස්ථානවල තොරතුරු ඇතුළත්ව තිබූ බව සඳහන්.
එමෙන්ම ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති මැල්කම් ටර්න්බුල් සහ හිටපු විදේශ ඇමතිනි ජුලි බිෂොෆ් ද ඔහුගේ ඉලක්ක අතර සිටි බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඕස්ට්‍රේලියානු ගුවන් විදුලිය ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, නිව් සවුත්වේල්ස් පොලීසිය එය තහවුරු කර නැහැ. පරීක්ෂණවලින් අනතුරුව ඕස්ට්‍රේලියානු මධ්‍යම පොලීසිය සැක පළ කර ඇත්තේ ඔහු අයි.එස්. සංවිධානයට ඍජුවම සම්බන්ධ පුද්ගලයෙකු බවටයි.
ඔහු සන්තකයේ තිබී සොයා ගත් ලේඛණ සහ ඉලෙක්ට්‍රොනික උපකරණ තවදුරටත් පරීක්ෂාවට ලක් කෙරෙනවා.
එමෙන්ම, මොහු පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවට මෙන්ම, වෙනත් කලාපයන් වෙත ද කිහිපවතාවක් ගමන් කර ඇති බව හෙළි වී ඇති කරුණක්.
කෙසේ නමුත්, එම අනෙකුත් කලාප කවරේ ද යන්න ඕස්ට්‍රේලියානු පොලීසිය අනාවරණ කර නැහැ.
ත්‍රස්තවාදී චෝදනා යටතේ මොහුට එරෙහි මීළඟ නඩු විභාගය ඔක්තෝම්බර් 24 වන දා පැවැත්වීමට අධිකරණය තීන්දු කළා.
එමෙන්ම පොලිස් පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මක වන බවයි නිව් සවුත්වේල්ස් පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.