Gossips

ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළට

මෙරට ජනගහනයේ ආයු අපේක්ෂාව අවුරුදු 79 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පිරිමි පුද්ගලයින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහළ මට්ටමක පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය අඩු මට්ටමක පවතින අතර, ඒ හේතුවෙන් ළමා ජනගහනය පහළ යාමේ අවදානමක් පවතින බවයි තරුණ, වැඩිහිටි හා ආබාධිත වූවන්ගේ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ හේතුවෙන් ආර්ථික සහ සෞඛ්‍ය ගැටලූ ඇතිවීමේ අවදානමක් ඇති බවද වෛද්‍යවරයා කියා සිටියා.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍යය පිළිබඳව ලෝක බැංකුව පසුගියදා නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ ඉදිරි වසර 25 තුළ මෙරට අවුරුදු 60 ඉක්මවූ වයස් ගත ජනගහනය දෙගුණයක් වනු ඇති බවයි.