Gossips

ශ්‍රී ලන්කන් ප්‍රතිසංවිධාන වාර්තාව සඳුදා ජනපතිට

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිසංවිධානයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදීමට නියමිතයි.
පසුගිය 7 වනදා පත් කළ මෙම කමිටුවට සාමාජිකයින් 12 දෙනෙකු ඇතුළත්.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව අවම කර ගනිමින් ඉදිරියේදී එය ලාභදායී තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර අදාළ කමිටු නිර්දේශ තුළ ඇතුළත් බව එම කමිටුවේ සාමාජික කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
එසේම මෙම තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ඇති පාඩුව පියවීමට කවරදාක හෝ ගුවන් යානයක ගමන් කර නොමැති ශ්‍රී ලාංකිකයන්ට පවා දායක වීමට සිදුවනු ඇති බවයි අමාත්‍යවරයා අනාවරණ කළේ.
මේ අතර, අධික ලෙස පාඩු ලබමින් පවතින ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ රුපියල් මිලියනයකට වඩා වැටුප් ලබන නිලධාරීන් 190 දෙනෙකු මේ වනවිට සේවය කරන බව පාර්ලිමේන්තුවට පසුගිය දා ඉදිරිපත් කෙරුණු කෝප් වාර්තාව මගින් හෙලිදරව් කරනු ලැබුවා.