Gossips

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දුව මුරලිගෙන් හදිස්සියේම ප්‍රබල ප්‍රකාශයක්

දේශාපාලඥයන්ගේ මැදිහත්වීම හේතුවෙන් මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය මේ වනවිට දැඩි අර්බුදකාරි තත්ත්වයට පත්ව ඇති බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසනවා.
ඉන්දියාවේ පුවත්පතකට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ 2014 වසරේ පන්දුවාර 20 යි 20 ලෝක කුසලානයේ සහ 2011 වසරේ එක්දින ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟය පැමිණීමට හැකිවූ ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වනවිට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වී ඇත්තේ දේශපාලන මැදිහත්වීම් නිසා බවයි.
පසුගිය වසරක කාලයක් තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ක්‍රීඩකයින් 60 දෙනෙකු පමණ හඳුන්වාදුන් නමුත් ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන යාමට නොහැකිවීම කණගාටුදායක කරුණක් බව ද මුත්තයියා මුරලිදරන් එහිදී සඳහන් කළා.
ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මීට පෙර ක්‍රීඩකයන් සතුව තිබූ ආත්ම විශ්වාසය මේ වනවිට ගිලිහී ගොස් ඇති බවයි.
එයට මෙම තත්වය ප්‍රබල හේතුවක් වී ඇති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.
මේ අතර තමන් එක්දිනකදී විශිෂ්ඨ පන්දු යවන්නෙක් නොවූ බවත් ඒ සඳහා වසර ගණනාවක් කැපවීමෙන් ක්‍රීඩා කළ බවද ඔහු පෙන්වාදෙනවා.
එහිදී එකළ සිටි නායක අර්ජුන තමන් ආරක්ෂා කරමින් තමන් දිරිමත් කළ බවද ඔහු සඳහන් කර තිබෙනවා.
වත්මන් ක්‍රීඩකයන් පන්දුවට පහරදීමට පවා බියවී ඇති අතර එක් තරඟයකට හොඳින් ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් මීළඟ තරඟය අහිමි වීමේ අවධානමක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වත්මන් ක්‍රීඩාවට බලපෑම් එල්ලකරන දේශාපාලඥයන් ක්‍රීඩාව පිළිබඳව කිසිදු හෝ දැනුමක් නොමැති වීම අවසානවන්ත තත්වයක් බවයි ඔහු පවසන්නේ .