Gossips

ශ්‍රී ලංකා සාමසාධක භටයින්ට, මාලි රාජ්‍යයේදී බෝම්බ ඇටවූ, ත්‍රස්තවාදියා අත්අඩංගුවට

සාමසාධක කටයුතු සඳහා මාලි රාජ්‍යයට ගොස් සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂක රිය පෙළක් ඉලක්ක කරගෙන් බෝම්බයක් ඇටවූ ත්‍රස්තවාදී සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට මෙරට සාම සාධක භට පිරිස් කටයුතු කර තිබෙනවා.
පසුගිය 28 වනදා මාලි රාජ්‍යයේ ග්‍රාවෝ සිට මොප්ටි දක්වා මෙම සාමසාධක භට කණ්ඩායම් ආරක්ෂක රිය පෙළකින් ගමන් කරමින් සිටියදී සැක කටයුතු පුද්ගලයෙකු දැක ඔහු පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පලායාමට උත්සාහ කර තිබෙනවා.
පසුව ඔහු මෙරට හමුදා නිලධාරීන් විසින් අල්ලාගෙන ඇති අතර පසුව එම ප්‍රදේශය සෝදිසි කිරීමේදී දුරස්ථ පාලකයක් මගින් පුපුරුවා හැරීමට සැළසුම් කර තිබූ කිලෝ 35 ක් බරැති බෝම්බයක් සොයාගෙන ඇති බව සඳහන්.
මෙම පුද්ගලයා වැඩිදුර පරීක්ෂණ සඳහා මාලි රාජ්‍යයේ ආරක්ෂක අංශ වෙත භාරදී ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.
මෙම යුද හමුදා කණ්ඩායමට වන්නි මානුෂීය මෙහෙයුමේදී මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදය පරාජය කිරීමේදී ලද අත්දැකීම් තුළින් මෙලෙස ඉමහත් විනාශයක් වළක්වා ගැනීමට හැකිවූ බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.